මරණ දඬුවම ලැබූ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසට නිදහස….!

March 31, 2022 at 11:16 am | by emanisa.lk

පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකු සියලු ම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (31)නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට අමතරව අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (31) කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් විණි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්තේ පැවැති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසු අදාල චෝදනාවන්ට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට ඉකුත් 2020 වසරේ ජූලි මස 31 වනදා මරණීය දණ්ඩනය නියම කළේය.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සිය අභියාචනා පෙත්සම් තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ අනුව එම පෙත්සම් විභාගයට ගත් අභියාචනාධිකරණය දීර්ඝ නඩු විභාගයකින් පසු එහි නඩු තීන්දුව අද (31) ප්‍රකාශයට පත් කරමින් ඔවුන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස