මම සටන් කළේ ත්‍රස්තවාදීන්ට එරෙහිව මිස දෙමළ ජනතාවට එරෙහිව නෙමෙයි! චෝදනා හමුවේ නොසැලෑ රටේත් ජනතාවගේත් ආරක්ෂාව තහවුරු කරනවා! – හමුදාපති

August 31, 2019 at 11:15 am | by emanisa.lk

තමා සටන් කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව මිස සාමාන්‍ය දෙමළ ජනතාවට එරෙහිව නොවන බවත්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ අමතමිනි.

රටේ සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් පිළිබඳව විශ්වාසය තබා ඇති බවත් එම විශ්වාසය තහවුරු කරමින් රටේත් ජනතාවගේත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාවට නායකත්වය ලබාදෙන බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

විවිධ කණ්ඩායම් තමාට එරෙහිව අභූත චෝදනා නගමින් සිටිය ද තමා සටන් කළේ සාමාන්‍ය දෙමළ ජනතාව සමග නොව ත්‍රස්තවාදීන් සමග බැවින් එම චෝදනා හමුවේ නොසැළී කටයුතු කරන බව ද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම ආරක්ෂක සමුළුවට සහභාගි වූ ලොව බොහෝ රටවල හමුදා ප්‍රධානීන් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමුළුව අතරතුර නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සුබ පැතුම් පිරිනැමූ අතර ත්‍රස්තවාදයට එරෙහිව ගෙනගිය සටනේදී ඔහු දැක්වූ දායකත්වය සහ කැපවීම විශේෂ ඇගයීමට ලක්කරීමට ද අමතක කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස