මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය දූෂණ ගුහාවක්! ශක්‍යතා අධ්‍යයනයට විතරක් බිලියන 1.7ක් වැය කරලා! – කෝප් කමිටුවේ දී සියල්ල හෙළිවෙයි….

November 22, 2020 at 1:37 pm | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී සිදු වී ඇති අක්‍රමිකතා රැසක් හෙළිකර ගැනීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සමත්වී ඇත.

මේ අනුව මාර්ගය සඳහා ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7කට වැඩි මුදලක් වැයකර තිබෙන බව අනාවරණය කර ගෙන තිබේ. කෝප් කමිටුව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහි දී මේ බව හෙළි වී ඇත.

එසේම කඩවත සිට මීරිගම දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ වැඩ ඇරඹීම 2015-2019 තෙක් වූ ප්‍රමාදය නිසා රුපියල් බිලිය 8ක මූල්‍ය අලාභයක් සිදුව තිබෙන බව අනාවරණය කර ගෙන ඇත.

ශක්‍යතා අධ්‍යයනය සඳහා සමාගම තෝරාගැනීම ද ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුකර ඇති අතර 2012 දී උතුරු අධිවේගී මාර්ගය ලෙස පියවර 3ක් යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස පියවර 4 ක් යටතේ වෙනස් ව තිබේ.

මුල් ව්‍යාපෘතිය වෙනස් වීම නිසා සිදුවූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙසත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

එසේ ම මධ්‍යම අධිවේගී මාර්ගයේ වත්මන් තත්ත්වය ලෙස කඩවත – මීරිගම කොටසේ වැඩ කටයුතු 5% ක ප්‍රමාණයක් අවසන් බවත් අනාවරණය කර ගෙන ඇත.

මීරිගම සිට කුරුණෑගල දක්වා 75%ක් වැඩ අවසන් ව ඇති අතර ඉදිකිරීම් ලබන වසරේ ජුනි මස අවසන් කළ හැකි බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා කමිටුව හමුවේ සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස