බොරු පුරසාරම් නොදොඩා හැකි නම් වැලි මිල අඩු කරනු! – ඩඩ්ලිට භූවිද්‍යාව භාරගන්නැයි අභියෝගයක්

March 2, 2019 at 3:39 pm | by admin

“වැලි කියුබ් 3ක් මනම්පිටියේදී වෙන්නේ රුපියල් 12,350යි. එය කොළඹ ගෙන එන විට රුපියල් 60,000කට වැඩි මිලක් වෙනවා. ඩීසල් ලීටරය රුපියල් 117ට තිබියදී කොළඹ දී වැලි විකිණුවේ කියුබ් තුනම 33,000ක් ලෙසයි. අද එකකට එකක් ගණන් වැඩි වෙලා. මේ ගණන් වැඩිවීමට ප්‍රධාන හේතුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ වැලි ජාවාරමයි.”

“මේ නිසා පාරම්පරිකව වැලි ගොඩදමපු මනම්පිටියේ මිනිස්සුන්ට අද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ගණිකා වෘත්තියේ යෙදිලයි. මේ සඳහා වගකිවයුතු බලධාරීන් වහා මැදිහත් විය යුතුයි. එහෙම නොවුණොත් ජනතාව සමග එකතු වෙලා තීරණයක් ගැනීමට මම කටයුතු කරනවා.
මගේ සොහොයුරා ජනාධිපති වුණාට එයත් එක්ක කතා කරලා තීරණ අරගෙන මම වෙළෙඳාම් කරන්නේ නැහැ. එයා දේශපාලනය කරන්නෙත් මගෙන් එක්ක කතා කරලා නෙවෙයි. ඒ නිසා මේ ප්‍රශ්නෙදීත් මම ඔහුත් සමග කතා කළේ නැහැ. නමුත් පැහැදිලිවම කියන්න ඕන මේ රජයේ වැලි මාෆියාවත් පවතින බව.”

ඩඩ්ලි සිරිසේන – ව්‍යාපාරික

“මම ඩඩ්ලි සිරිසේනට අභියෝග කරනවා පුළුවන් නම් මේක අරගෙන වැලි කියුබ් 3 රුපියල් 30,000ට කොළඹට ගෙනැල්ලි මිල පහත දමා පෙන්වන්න කියලා. එයාගේ ව්‍යාපාරවලට වැලි ලබාගැනීමේදී ඇතැම් විට ගැටලු ඇතිවුණා වෙන්න පුළුවන්. නමුත් එය සමස්ථ ජනතාවට බලපාන කාරණයක් ලෙස සලකන්න හොඳ නැහැ.”

“මම පසුගිය අවුරුද්දේ මේක අරගන්න කොට තිබුණේ මාසයකට කියුබ් 12,000ක් 14,000ක් පමණ. නමුත් එය 26,000 දක්වා වර්ධනය කිරීමට මට හැකි වුණා. පසුගිය දවස්වල ඇතිවුණ ගැටලුව වුණේ ත්‍රිකුණාමලයේ වැලි හෑරීම නැවැත්වීමත් සමග එම ලොරි රථත් මනම්පිටියට යෑමයි. එහිදී යම් තදබදයක් ඇති වුණා.”

“මේ වන විට වැලි මිල පහත දැමීම සඳහා විකල්ප ක්‍රම ගණනාවක් අපි යොදාගෙන තිබෙනවා. ඒ අනුව අප ආයතනය වැලි පොළවල් හඳුන්වා දී තිබෙනවා. ඒවායින් අඩු මිලට වැලි ලබාගන්න පුළුවන්. පොළොන්නරුවෙම එවැනි ස්ථාන 10ක් පමණ මේ වන විට ස්ථාපිතව තිබෙනවා. ඒ වගේම යක්කල ප්‍රදේශයේත් වැලි පොළක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කළා. එහිදී වැලි කියුබයක් රුපියල් 13,500ක මුදලකට පාරිභෝගිකයන්ට ලබාගත හැකියි.”

“මම පෞද්ගලික සමාගමක බින්දු හයක වැටුපක් ලබපු කෙනෙක් මෙතැනට ආවේ එතැන ඉඳලයි. ඉතිං මට වැලි ජාවාරම් කරලා මුදල් හොයන්න කිසිම වුවමනාවක් නැහැ.”

“ඔය සිදුවීමෙන් පස්සේ ඩඩ්ලි සිරිසේන මට කතා කරලා කිව්වා ඔන්න ඔබතුමාට මම ගැහුවා ඔබතුමා ලොකු කොම්පැනියක ලොක්කෙක් වෙලා ඉඳලා මේ හිඟන රස්සාවට ආවේ මොකද කියලා.”

අසේල ඉද්දවෙල – සභාපති භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස