බාල වයස් ජපන් පෙම්වතියාගේ ලාංකික පෙම්වතාට ඇප! දුව ලාංකික පෙම්වතාට විවාහ කර දෙන්න මව කැමැති වෙයි!

December 4, 2020 at 7:47 am | by emanisa.lk

15 හැවිරිදි කෝටිපති ජපන් ජාතික තරුණියක ඇගේ දෙමාපියන් භාරකාරත්වයෙන් පැහැරගෙන ශ‍්‍රී ලංකාවට පැමිණීමේ චෝදනා මත රිමාන්ඞ් භාරයේ පසුවූ 24 හැවිරිදි සැකකාර පෙම්වතා කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත රිමාන්ඞ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත විසින් ඊයේ (3) නියෝග කළා ය.

ඇප නියම වූ ශ‍්‍රී ලාංකික තරුණයා වූයේ කොච්චිකඬේ පළඟතුරේ පදිංචි කසුන් මධුශංක නමැති 24 හැවිරිදි තරුණයෙකි.

විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ වීරසූරිය මහතා අධිකරණය හමුවේ පැවසුවේ මෙම තරුණ යුවළ කොච්චිකඬේ පොලිසියෙන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ජපන් බසින් ජපන් තරුණිය විසින් ලබා දුන් කටඋත්තරය සිංහලයට පරිවර්තනය කළ ජපන් භාෂා පරිවර්තකයා ජපන් තරුණියගේ ප‍්‍රකාශයේ වැදගත් කොටස පොලිසියට ප‍්‍රකාශ නොකර වසන් කළ බවය.

ජපන් තරුණියගේ මවගේ ශ‍්‍රී ලාංකික දෙවන සැමියා මෙම තරුණිය ඇගේ මව හමුවේ සංචාරක හෝටලයකදී දෙවරක් දූෂණය කළ බව ඇය කොච්චිකඬේ පොලිසියට ප‍්‍රකාශ කළත් එම කරුණ භාෂා පරිවර්තකයා විසින් පොලිසියට වසන් කර ඇති බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට නියෝග කරන ලෙසත් විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම කරුණු සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් කිසියම් විරෝධයක් ඇත්දැයි මහෙස්ත‍්‍රාත්වරිය අගතියට පත් පාර්ශ්වය නියෝජනය කළ නීතිඥ කේ. සී. පතිරණගෙන් විමසීය. එහිදී ඔහු ප‍්‍රකාශ කළේ සැකකාර පෙම්වතාට ඇප ලබාදීම පිළිබඳ විරුද්ධ නොවන බවය. ජපන් තරුණිය ගැබිනියක් වීම සහ අනිකුත් කරුණු සළකා බැලූ ජපන් තරුණියගේ මව ඇගේ දියණියගේ අනාගතය සලකා ශ‍්‍රී ලාංකික තරුණයාට විවාහ කරදීමට කැමැත්ත පළ කර ඇති බව පැවසීය. ඉදිරිපත්වූ කරුණු අනුව සැකකාර තරුණයාට අධිකරණයෙන් ඇප නියම කෙරිණි.

ජපන් ජාතික තරුණිය තවදුරටත් පසුවන්නේ අධිකරණය භාරයේ බැවින් එම තරුණියගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණයට භාරදීමට නියෝග කර නඩු විභාගය 2021 මාර්තු මස 18 වැනි දින දක්වා කල් තැබීය. කොච්චිකඬේ පොලිසියේ සැරයන් ජයන්ත වීරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය.

විත්තිය වෙනුවෙන් නීතිඥ අනුෂා තමෙල්, ෂලනි ධම්මිකා ද සිල්වා, මදු ජයසේන යන නීතිඥවරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ වීරසූරිය මහතා පෙනී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *