බාල බෙහෙත් හැදුවේ ඇමැතිගේ උපදෙසින්..! සැපයුම්කරුගේ සාක්කියෙන් කෙහෙළිය ගස්…!

December 28, 2023 at 11:14 am | by emanisa.lk

තමා බෙහෙත් නිෂ්පාදනය කළේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ලබා දුන් උපදෙස් සහ මුදලින් බව ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සැපයුම්කරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (27) පස්වරුවේ අනාවරණය කළේය.

මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකරියේ හිටපු විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යන අය සම්බන්ධ බව අධිකරණයට දන්වා සිටි එම සැපයුම්කරු, මේ පිළිබඳව ඇමැතිවරයාගේ නම සඳහන් කරමින් ප්‍රකාශයක් දීමට සූදානම් වීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය වැළැක්වූ බවද අධිකරණයට දන්වා සිටියේය.

ඒ හේතුවෙන් තම සේවාදායකයාට මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන් හෙළිදරව් කරමින් සම්පූර්ණ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කිරීමට නොහැකි වූ බව සැකකාර සැපයුම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වෙත දන්වා සිටියේය.

එලෙස සැකකාර සැපයුම්කරු වන සුදත් ජනක ප්‍රනාන්දු නමැති අයගෙන් සටහන් නොකළ බව කියන සම්පූර්ණ ප්‍රකාශය බන්ධනාගාරයට ගොස් අද (28) දින සටහන් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

‘හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මෙම ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදෙන බවත්, ඊට අදාළ ප්‍රකාශය සටහන් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් නත්තල් දිනය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව අංක 121, විජේරාම මාවත, කොළඹ 7 ලිපිනයේ පිහිටි ඇමැතිවරයාගේ නිවසට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා (26) ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම ප්‍රකාශය සටහන් කරගෙන අවසන් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඖෂධ මිලදී ගැනීම්වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ගැන හිටපු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළා. එම ලේඛන පරීක්ෂාකර බැලීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රකාශයක් ලබාදෙන බව හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළා.’ එම සියලු ලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ, අමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයේ තිබෙන බවද හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය වෙත දන්වා සිටියේය.

‘හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපා​ර්තමේන්තුව වෙත මෙම ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දුන්නා කියන්නේ මෙම සිද්ධිය ගැන ඔහු දැනුවත්ව සිටියා කියන එක නොවේදැයි’ මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ ප්‍රශ්න කළාය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මෙම සිද්ධියෙන් බේරී සිටීමට නොයෙකුත් උත්සාහයන් දරන බව දැනට රිමාන්ඩ් භාරයේ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දන්වා සිටියේය.

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බව කියන ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

ප්‍රශ්නගත ඖෂධ මිල දී ගැනීම්වලට අදාළව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සිය ඇමැති ධුරය දරන කාලය ඉදිරිපත් කරන ලද සියලු ම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා, ඊට අදාළ ඇමිණුම් ඇතුළු ලේඛන වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස