පොහොට්ටුවේ ඡන්ද පදනම හැදුවේ අපි…! පොහොට්ටු පාක්ෂිකයෝ අමතන හැටි දන්නේ අපි..! ඊළඟ ඡන්දෙට ඒ සියලු ජනතාව අපි ළඟ..! – ගම්මන්පිල…

September 9, 2022 at 5:12 pm | by emanisa.lk

දේශපාලන පක්ෂ හතක එකතුවෙන් සකස් වූ ‘උත්තර ලංකා සභාගය’ පසුගිය දිනයක ජනගත කිරීම සිදුවිය. ඒත් සමගම ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල කියයි.

ගහෙන් ගෙඩි එන්නාවගේ මේ දවස්වල එක එක දේශපාලන සන්ධාන, සභාගයන් බිහිවෙනව. හැබැයි දේශපාලනික වශයෙන් බෙදී යම් යම් සන්ධාන තැනුවත් කලක් එක දේශපාලන ධාරාවක හිටිය අය තමයි ඒ. එහෙම පසුබිමක ඔබ ඇතුළු දේශපාලකයන් හදන මේ සභාග නිසා ඔබලාගේ දේශපාලන අනන්‍යතාව දියවෙලා ගිහින්ද?
එදත් අදත් මම පිවිතුරු හෙළ උරුමයේ නායකයා හැටියටම තමයි කටයුතු කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් පිවිතුරු හෙළ උරුමයත් තවත් පක්ෂ දාසයකුත් එකතු වුණු සන්ධානයක් විදිහට අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලුවා. නමුත් ආණ්ඩුවේ ගමන් මඟට බරපතළ විවේචනයක් එල්ල කළ නිසා මුලින්ම අපි ඇමැති ධුරවලින් ඉවත් කළා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා අප්‍රේල් මාසයේ විපක්ෂයට ආවා. දැන් අපි විපක්ෂයට ආ පිරිස සමඟ එකතුවෙලා නැවුම් සන්ධානයක් ගොඩනඟලා තියෙනවා. කොහොම වුණත් මගේ මන්ත්‍රී ධූරයේ වගකීම තියෙන්නේ පිවිතුරු හෙළ උරුමයට.

පහුගිය කාලයේ සෑම දේශපාලන පක්ෂයක්ම කළේ ජනතාවගේ ඇඟට දැනෙන, ජනතාව බැට කන, ජනතාවගේ ප්‍රශ්නම නැවත ජනතාවට කියන එක විතරමයි. ඒ ප්‍රශ්න ගැන දේශපාලන පක්ෂ කිව්වත් නැතත් ජනතාව හොඳට ම දන්නවා. සරලවම කියනවා නම් ජනතාවට ප්‍රශ්න දැනගන්න උවමනාවක් නෑ. ජනතාවට අවශ්‍ය ප්‍රශ්නවලට උත්තර දැනගන්න. නමුත් අවාසනාවට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ඉදිරිපත් කරන්න ආණ්ඩුව අසමත් වුණා.

පහුගිය දවස්වල ගොඩ වුණේ වැරදි බස් එකට කියලා දැන් ඔබම පිළිගන්නවා…
අපේ දේශපාලන ඉතිහාසය පුරාම අපි කළේ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක්. මහින්ද මහත්තයා හොඳයි එයාට ඡන්දය දෙන්න කියලා අපි එක වතාවක් කිව්වා. ඊළඟ වතාවේ ගෝඨාභය මහත්තයා හොඳයි එයාට ඡන්දය දෙන්න කියලත් අපි කිව්වා. නමුත් පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය අසාර්ථකයි කියලා අපි දැන් අත්දැකීමෙන්ම දන්නවා. ඒ පුද්ගලයින් බලය ලැබුණට පසුව එකඟ වූ වැඩසටහන් වෙනුවට වෙනත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එවැනි අවස්ථාවල ඒ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි අපි අසරණ වෙනවා.

හැබැයි සමාජ මාධ්‍යවල මේ දිනවල සංසරණය වෙන්නෙ ඒ ඔබලා ගොඩවුණේ අන්තිම බස්එකට කියලා….
අපි වැරදුණ හැම වතාවේම ඒ වැරදීමෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඒ පාඩම හරහා වෙනදාටත් වඩා අපි පරිණත වෙනවා. පෙර වූ වැරදි නැවතත් නොවෙන්න තමයි පුද්ගල කේන්ද්‍රිය සන්ධානයක් වෙනුවට අරමුණක් සහ ප්‍රතිපත්තියක් කේන්ද්‍ර කරගත් සන්ධානයක් බිහි කරන්න අපි කටයුතු කළේ.

මේ විදිහට පක්ෂ එකතුවෙලා සභාග පිහිටුවන්නේ, ඔබ නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයෙන් වගේම අනෙක් අය නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ඡන්දයකට ඉදිරිපත් වුණොත් එක ආසනයක්වත් දිනා ගන්න බැරි නිසා කියලා ඇතැමුන් කියනව…
අපේ අතේ ඇඟිලි පහ ප්‍රමාණයෙන්, මහතින් දිගෙන් එක සමාන නැහැ. අතේ ඇඟිලි පහ එකිනෙකට වෙනස් නිසා තමයි අත කාර්යක්ෂම වෙලා තියෙන්නේ. ඒ වගේ විවිධ හැකියාවන් දක්ෂතාවන් තියෙන, විවිධ සම්බන්ධතාවන් තියෙන, විවිධ මතවාද දරන පක්ෂ හතක් එකට එකතු වුණේ. ඒ හරහා අර්බූදයක් හමුවේදි ජාති ආගම් පක්ෂ බේද නොසලකා සමස්ත ජාතියම සසමඟි විය යුතුයි කියන පණිවිඩය අපි ජනතාවට ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. මේ තුළ එකිනෙකාට තිබෙන විවිධ හැකියාවන් සන්ධානයක් හරහා රට ගොඩ ගැනීමේ ව්‍යාපාරයට දායක කරලා තියෙනවා. කොහොම වුණත් පොල් කෙන්ද තනියම තිබුණාට කවදාවත් අලියා මෙල්ල කරන්න බැහැ. ඒ පොල් කෙඳි එකට එකතු කරලා නිර්මාණය කරන කඹයකින් තමයි අලියා මෙල්ල කරන්න පුළුවන්.

අනෙක මේ මොහොතේ කාටවත් තනිව මේ රට ගොඩ දාන්න බෑ. විධායකයේ බලය පාර්ලිමේන්තුවේ බලය තියෙන ජනාධිපතිතුමාත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න උත්සාහ කරන්නේ ඇයි? මේ රට වැටිලා තියෙන්නේ ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් දැවැන්ත ආගාධයකට. ඒ නිසා රට ගොඩගන්න තනි පුද්ගලයෙකුටවත්, දෙතුන් දෙනෙකුට වත් හැකියාවක් නැහැ. රට ගොඩගන්න නම් සමස්ත ජාතියම එකට එකතු විය යුතුයි.

ආණ්ඩුව වගේම විපක්ෂයත් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න සමත් නෑ කියල තමයි කියන්නෙ. එහෙම නම් උත්තර ලංකා සභාගයට ඒක කරන්න පුළුවන්ද?
පැහැදිලිවම උත්තර ලංකා සභාගය බිහිකිරීමේ අරමුණ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබා දීමමයි. උත්තර ලංකා සභාගය බිහි වුණේ දේශපාලන පක්ෂ හතක එකමුතුවකින්. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයලා ඒවා ආණ්ඩුවට කියලා ඒ උත්තර මහ පොළොවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න කියලා ආණ්ඩුවට බලකිරීම තමයි උත්තර ලංකා සභාගයේ මූලික අරමුණ.

ඒ උත්තර ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ඉදිරිපත් නොවෙනවා නම් ආණ්ඩුවට බැන බැන ඉන්නවා වෙනුවට ජනතාවත් සමඟ එකතු වෙලා අපි හොයාගත්ත උත්තර මහ පොළොවේ පැළ කරන්නත් අපිට පුළුවන්. මේ වෙලාවේ රට වෙනුවෙන් ජනතාවට කළ හැකි කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය කිරීම සඳහා ජනතාවට අවශ්‍ය නායකත්වය ලබා දෙන්න අපි සූදානම්.

උත්තර ලංකා සභාගයට තියෙන උත්තර මොනව ද?
අපි අර්බුදයෙන් ගොඩ යන මාර්ගයක් සකස් කරලා මුළු රටම හරි මගට යන නමින් මාර්තු මාසේ දෙවැනි දා යෝජනාවලියක් රටට ඉදිරිපත් කළා. ඒ දිහා ඇහැක් ඇරලා බලනවා වෙනුවට අපි අමාත්‍ය ධුරවලින් ඉවත් කරලා ඔවුන්ගේ ගමන ඔවුන් රිසි සේ යන්න පටන් ගත්තා. එදා අපි ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් මේ අර්බුදය මේ තරම් තීව්‍ර නොවෙන්න තිබුණා.

මම මුලින්ම කිව්වා වගේ හැමෝම ප්‍රශ්නේ ගැන කතා කළාට කවුරුවත් උත්තරය ගැන කතා කරන්නේ නැහැ. දැන් මේ රටේ අර්බුදයට මාස හයකටත් වඩා වැඩියි. නමුත් තවමත් අර්බුදයෙන් ගොඩ යන මාර්ගය රටට කියන්න ආණ්ඩුව සමත් වෙලා නැහැ. ප්‍රශ්න කතා කර කර ජනතාව විඳින දුක ගැන කිය කියා හිටියා කියලා කවදාවත් අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. ඒ නිසා ප්‍රශ්න වෙනුවට උත්තර හොයන්න තමයි උත්තර ලංකා සභාගය බිහි කළේ. එය මේ මොහොතේ රටේත් ජනතාවගේත් ප්‍රමුඛතම අවශ්‍යතාවක්.

ණය ලැබීම තමයි අදටත් ආණ්ඩුවේ උදාන වාක්‍ය වෙලා තියෙන්නේ. මේ ලබා ගන්න සෑම ඩොලරයක්ම පොලී සමඟම ආපසු ගෙවිය යුතුයි කියලා ආණ්ඩුවට අමතක වෙලා. අපේ ප්‍රශ්නය ණයබරින් මිරිකීම නම් අපේ ප්‍රශ්නය ජාතික ආදායමෙන් 145% දක්වා ණය බර වැඩිවීම නම් උත්තරය ණය ගැනීම වෙන්නේ කොහොමද?
අපි පිටරටවලින් ඉල්ලන්න ඕන ණය නෙමෙයි ආයෝජන. ඒ අයගෙ ආයෝජන තුළින් අපේ රට ගොඩගන්න අපිට ශක්තිය තියෙනවා. ආණ්ඩු ගණනාවකට ගොඩදාගන්න බැරි වූ ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ තියෙන තෙල් හා ගෑස් නිධිය ගොඩගන්න අවශ්‍ය කරන මූලික කොන්දේසි හය අපි අවුරුදු එකහමාරක් තුළ සම්පූර්ණ කරලා පෙන්නුවා. නමුත් අද ඒ තෙල් ගෑස් නිධි ගොඩ ගන්න කාටවත් උවමනාවක් නෑ. තෙල් මිල ඉහළ යනවා කියන්නේ හරි නම් අපේ රටේ ආදායම වැඩි වෙනවා කියන එක. හැබැයි තෙල් මිල ඉහළ යද්දී අද අපි බයෙන් ගැහෙනවා. මොකද අපිට වැඩිම විදේශ විනිමය වැය වෙන්නේ තෙල් පිටරටින් ගේන්න.

ශ්‍රී ලංකාවේ පිහිටීම හරිම අපූරුයි ආසියාවේ හරි මැද පිහිටි ලංකාව ආසියාවේ සේවා කේන්ද්‍රය බවට පත් පත්කිරීමෙන් පමණක් මේ ණය අර්බුදය විසඳන්න පුළුවන්. කෝ ආණ්ඩුවට ඒකට වැඩපිළිවෙළක් තියෙනවද? ලෝක සිතියමේ මහ මුහුද මැද තනි වුණ තව එක රටක්වත් නැහැ . ඒ නිසා ලංකාව වගේ නව ගුණයක් විශාල සුවිශේෂී ආර්ථික කලාපයක් ( exclusive economic zone) ලංකාවට වෙන්වෙලා තියෙනවා. ලංකා වගේ 23 ගුණයක් විශාල මහද්වීපික තටාකයක් අපිට වෙන් වෙලා තියෙනවා. මෙන්න මේ සම්පත්වලින් අපේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්.

පහුගිය ජනාධිපතිවරණයේදී ඔබත් ඉන්න කණ්ඩායම සහය දැක්වුයේ ඩලස් අලහප්පෙරුමට. ඔහු සමග ඉන්න කණ්ඩායම අතහැරලා අලුත් ගමනක් යන්න තීරණය කළේ ඇයි.?
අපි අපේ සන්ධානය ගොඩනඟන්න තීරණය කරන විට ඩලස් අලහප්පෙරුම මැතිතුමා ඇතුළු පිරිස හිටියේ ආණ්ඩුවේ. විපක්ෂයේ ඉන්න අපිට ආණ්ඩුවේ පිරිසක් සමඟ සන්ධාන ගත වෙන්න බෑ. ඒක විකෘතියක්. දැන් එතුමලා විපක්ෂයට ඇවිත් ඉන්නවා. ඒ නිසා පොදු සන්ධානය අපේ සන්ධානයට එකතු කර ගැනීම පිළිබඳව ඒ පුද්ගලයින් සමඟ දැන් සාකච්ඡා ආරම්භ කිරීමට හැකියාව තියෙනවා.

මාර්තු මාසයේ පවත්වන බව පැවැසෙන පුංචි ඡන්දයට සූදානම කොහොමද?
මැතිවරණ නීතිය අනුව නම් අනිවාර්යෙන්ම මාර්තු මාසයේ පුංචි ඡන්දයක් පැවැත්විය යුතුයි. ඒ ඡන්දය සඳහා අපි සූදානම්. ඒ සඳහා සූදානම් මෙන්න මේ මාස හයත් හොඳටම ප්‍රමාණවත්. අපි තමයි පොහොට්ටුවට ශක්තිමත් ජනතා වේදිකාවක් ගොඩනැගුවේ. අපි තමයි පොහොට්ටු වේදිකාවේ හිටිය ප්‍රධානම කථිකයෝ. ඒ නිසා පොහොට්ටුවේ පාක්ෂිකයන් ඇමතිය යුතු ආකාරය අපි හොඳින්ම දන්නවා. පළාත් පාලන මැතිවරණයේ දී ඔවුන්ව අපිට ආකර්ෂණය කරගන්න හැකියාව තියෙනවා කියලා මම හිතනවා.

අපේ හීන අපිට කවදාවත් අමතක කරන්න බෑ. ජනතාවගේ අහිංසක බලාපොරොත්තු අපිට බිඳින්නත් බෑ. කවුරු මේ සටන අතහැරියත් මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ඒ ගමන යන්න අපි සූදානම්. අපි ගංවතුරට ගහගෙන ආව කුරුම්බා කෝම්බ නෙවෙයි. මේ මව්බිමේ ජනතාවගේ පැතුම් ඉටුවන තුරුම අපි උඩුගම් බලා පීනන්න සූදානම්. නායකයෝ සහ පවුල් රජ කරපු යුගය අපි අවසන් කරනවා.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස