කැබිනට් සාමුහික වගකීම කඩ කළ විමල් වාසු උදය ඇමැති ධූරවලින් නෙරපිය යුතුයි…! – ජනාධිපති නීතීඥ සාලිය පීරිස්…

December 17, 2021 at 12:38 pm | by emanisa.lk

යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වලට පක්ෂව කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ලබා දී ඇති බැවින් ඔවුන්ව අනිවාර්යයෙන්ම එම අමාත්‍ය ධූර වලින් ඉවත් කළ යුතු බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසයි.

එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙතෙක් එය සිදු කර නොමැති නොමැති බව ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි වෙනුවෙන් පෙනී සිටිමින් හෙතෙම ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

අදාළ පෙත්සම් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් සාලිය පීරිස් කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කළ සෑම අවස්ථාවක දී ම අදාළ ඇමැතිවරුන් සිය ධූරවලින් ඉවත් කළ බවය.

ඒ අනුව 1947 වසරේ දී රජයේ අයවැය විවේචනය කළ අමාත්‍ය එම්.ඩී.එච්. ජයවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවත්, දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති විවේචනය කළ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත කළ බවත් ජනාධිපති නීතීඥ වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

එහෙත් මෙවර යුගදනවි බලාගර කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කළ අමාත්‍යවරු තිදෙනෙකු අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබියදීත, ඔවුන් මේ වන තුරුත් කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කර නොමැති බව ද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පැවසීය.

ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි, සමගි ජන බලවේගය, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ පළමු වරට සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතිත්වයෙන්, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනියගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *