අනුප්‍රාප්තික ජනපති සටන උණුසුම්..! සජිත් ඩලස් අතර තියුණු සටනක්…!

July 10, 2022 at 11:50 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා(13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොවී මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙස එකඟතාවකින් පත්කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් අතර මේ වන විට සාකච්ඡාවක් ද ආරම්භ වී ඇත.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් තලතා අතුකෝරල මන්ත්‍රීවරියගේ නුගේගොඩ පිහිටි නිවසේ ඊයේ (10)පස්වරුවේ පවත්වා ඇති අතර,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම,සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් රැසක් ඒ සඳහා සහභාගි වී ඇතැයි දැනගන්නට තිබේ.

රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොකර මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙසත්, අනෙක් කෙනා අගමැති ලෙසත් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.

මේ අතර, හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

අතුරලියේ රතන හිමි ද ,විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ , ප්‍රේමනාත් දොලවත්ත,මොහොමඩ් මුසම්මිල්, ඒ එල් එම් අතාවුල්ල, ගෙවිදු කුමාරතුංග යන මහත්වරුද ඊට සහභාගි වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් වහාම ඉල්ලා අස්වන ලෙස බල කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

මේ අතර ,නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ දී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිව ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇත.

අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා පත් වන අතර,මේ සතියේ හෝ ලබන සතියේ දී පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයා පත් කර ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.

මේ අතර, සියලු පක්ෂ සම්බන්ධ කර ගනිමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡා වට ගණනාවක් මේවන විට පවත්වා ඇත.

මේ අතර, ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහුට සහාය ලබාගැනීමේ උත්සාහයක් ද මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බව දැනගන්නට ඇත.

ලංකාදීප

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස