පොල්තෙල් පරික්ෂාව පටන් ගත්තේ අපේ ආණ්ඩුව….! යහපාලන කාලේ මොන වස කෑව ද කියල කවුරුත් දන්නේ නෑ….! – නිමල් ලාන්සා….

April 5, 2021 at 12:16 am | by emanisa.lk

පොල්තෙල් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ 2020 අපේ ආණ්ඩුව පත් වීමෙන් පසුවයි. එම පරීක්ෂණ කටයුතු නිසා පොල්තෙල්වල පිළිකාරක අඩංගු බව හඳුනාගත් අතර එම නිසා ජනතාව එය පරිභෝජනය කිරීමෙන් වළක්වා ගැනීමට හැකි වූ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙම අදහස් පළ කර සිටියේ වත්තල ආසනයේ මගුල් පොකුණ පල්ලිය පාර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (04) දින සහභාගී වෙමිනි.

“අද සමාජයේ පොල්තෙල් ගැන කතා කරනවා. ලංකාවට ගේන පොල්තෙල් පිළිකාකාරකද නැද්ද කියලා පරීක්ෂණය කරන්න ගත්තේ 2020 වර්ෂයේ ඉදන්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වුණාට පස්සේ. පරීක්ෂණ කරන්න ගත්ත හින්දා තමා මේවා අල්ලගත්තේ. 2020ට ඉස්සෙල්ලා මේවා පරීක්ෂණය කළේ නැහැ. ඒවායේ පිළිකා කාරක තිබුණා නම් ජනතාව දැන් කාලා ඉවරයි.

ආණ්ඩුව පරීක්ෂණ කරලා මේවා අල්ල ගත්තමත් ආණ්ඩුවට චෝදනා කරනවා. දැන් පිළිකාකාරක සහිත පොල්තෙල් ප්‍රතිඅපනයන කරන්න නියෝග කරලා තියෙනවා. මේ නියෝගය කඩ කරපු කවුරුහරි ඉන්නවනම් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි තවම සමාජයෙන් පිළිකාරක පොල්තෙල් හම්බවෙලා නැහැ. එහෙම තිබුනොත් නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ ආණ්ඩුව, අතිගරු ජනාධිපතිතුමා ඉන්නකම් අහිතකර පිළිකාකාරක හෝ ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගු දෑ රටේ ජනතාවට ලබා දෙන්න ඉඩ තියන්නේ නැහැ.

පාස්කු ඉරිදා කියන්නේ ලෝක වාසී කතෝලික ජනතාව සතුටින් සමරපු දිනයක්. හැබැයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපිට පාස්කු මංගල්‍යය සතුටින් සමරන්න බැරිවෙලා තියෙනවා. එදා ඉදන් අපි කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් මැරුණු අය සිහිකරන එක. අනිවාර්යෙන් එක දෙයක් කියන්න ඕනේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට හා එයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට දඩුවම් දීමට කටයුතු කරනවා. ඒ සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍ය පියවර ගන්නා බව අපට විශ්වාසයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ඇල්ලුවද කියලා අහන්නේ පාස්කු ප්‍රහාරය වෙනව කියලා දැන දැන ඒක වලක්වගන්න කටයුතු නොකරපු අය. අද විපක්ෂයේ ඉන්නේ එදා ආණ්ඩුකරපු කටිටිය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව චෝදනා කරන අය අද ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ.

පරිසරය ආරක්ෂා කිරීම අපි කාගෙත් වගකීමක්. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරිසරයට ආදරය කරන නායකයෙක්. එතුමා අද ඉදන් පරිසරය ආරක්ෂා කිරීම හමුදාවට බාර දීලා තියෙනවා. කවුරුහරි පරිසරය විනාශ කරනවනම් ඔවුන්ව අත්අඩංගුවට අරන් නීතිමය කටයුතු සිදු කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පරිසරය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දී තිබෙනවා යැයි” රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස