පුංචි ඡන්දේ ප්‍රමාද වුණාට මූලික අයිතීන් කැඩෙන්නේ නෑ..!

March 8, 2024 at 11:20 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවීමෙන් රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන්නේ යැයි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පවසයි.

එම මැතිවරණය ප්‍රමාද වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ගොනු කළ පෙත්සමක වග උත්තරකරුවෙකු ලෙස නම් කොට ඇති රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙරේදා (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ලඝුකොට ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය සහ ජනමත විචාරණයක් සම්බන්ධයෙන් පමණක් බවත් පළාත් සභා හෝ ප්‍රාදේශීය සහ හා නගර සභා මැතිවරණ එකී ජනතා පරමාධිපත්‍යට අයත් නොවන බවත් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පැවසීය.

පළමුව අධිකරණය මැතිවරණය සඳහා වෙන් කළ මුදල් මහජන මුදල් ද නැද්ද කියා තීරණය කළ යුතු බව ද නීතිඥවරයා සඳහන් කළේය. එකී මුදල් මහජන මුදල් වන්නේ යැයි අධිකරණය තීරණය කළත් රටේ මූල්‍ය පාලනය පිළිබඳ තීරණ ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් වන බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග ලබාදීමේ බලයක් අධිකරණයට නොමැත්තේ යැයි ද ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *