රසායනික පොහොර සීමා කිරීම හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කර තිබේ.
නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපතිවරයා පවසයි.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජයගැනීමට සහායවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මුල්බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුවද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.