උසස් රසායනික පොහොර අඩු මුදලට ගන්න බෑ…! පස විනාශ වුණේ මහින්ද රු. 350ට දුන් බාල පොහොර නිසයි..!

October 12, 2021 at 9:00 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දර්ශනයක්, වැඩපිළිවෙළක් නොමැති කම නිසා මේ වන විට රට දැවැන්ත අර්බුදයකට තල්ලු වී තිබෙන බවත් ලබන වසරේ මැද භාගය වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකිව රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළේ ගාල්ල එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී පෙරේදා (10) පැවැති විශේෂ රැස්වීමකදීය.

ගාල්ල දිස්ත‍්‍රික්කය ගත්තොත් තේ කර්මාන්තය මේ කතා කරන අවස්ථාවේ පවා බරපතළ ඛේදවාචකයකට මුහුණ පා තිබෙනවා. මේ සිදුවෙලා තියෙන අලාභය නැවත යථා තත්ත්වයට ගන්න වසර එකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ අනුව නැවත මේවා කප්පාදු කරලා නියමිත පරිදි පොහොර යොදලා දලු කඩන්න පුළුවන් තත්ත්වයට ගෙන එන්න කාලයක් ගන්නවා. ඒ නිසා තමයි අපි කීවේ රසායනික පොහොර ගෙන්වීම අවස්ථානුකූලව කළ යුතු බවට යෝජනා කළේ.

ලෝකයේ තත්ත්වයෙන් උසස් පොහොර නොමිලේ හෝ රුපියල් 350 ක් වැනි අඩු මුදලකට ලබාදෙන්නත් බැහැ. නමුත් ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණින් දේශපාලනඥයෝ ජනතාවට ලබාදුන් පොරොන්දුවලට අනුව බාල පොහොර වර්ග යෙදීමෙන් සම්පූර්ණයෙන්ම අපේ පස විනාශ වෙලා තිබෙන්නේ. එම නිසා අපේ මහජනතාව, ගොවි ජනතාව කල්පනාවෙන් ක‍්‍රියා කළ යුතුව තිබෙනවා. මොකද එක පාර්ශ්වයක් කියනකොට රුපියල් 350 ට පොහොර දෙනවා කියලා අනිත් පාර්ශ්වය කියනවා නොමිලේ දෙනවා කියලා. මෙහෙම රටක් ගෙනියන්න බැහැ.

ඒක හරියට ජනාධිපතිවරණයේදී වතු ජනතාවට රුපියල් 1000 ක් දෙනවා කියලා එක වේදිකාවක කියනකොට අපේ වේදිකාවේ කියනවා 1500 ක් දෙනවා කියලා. මෙලෙස මේවා අම්මා තාත්තගෙන් හෝ ගෙදරින් ගෙනත් දෙන්න බැහැ. දෙන්න ඕන මහජනතාවගේම මුදල්වලින්. ඉතින් ඒ නිසා තමයි මේ බොරුව සමාජයේ අවසන් කළ යුතුව තිබෙන්නේ. එමෙන්ම අද රට පුරා ඇතිවෙලා තිබෙන කිරි පිටි පෝලිම්, ගෑස් පෝලිම්, තෙල් පෝලිම් මම අහගෙන හිටියා මගේ මිත‍්‍ර තෙල් ඇමැතිතුමා කියනවා සාමාන්‍යයෙන් දින 90 කට තියෙන්න ඕන. නමුත් දැන් තිබෙන තෙල් ප‍්‍රමාණය දින 10 ටත් අඩුයි. ඉතාම අවාසනාවන්ත තැනකට රට පත් කරලා තිබෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස