පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා! – ජනපති නත්තල් පණිවිඩයෙන් නැවත තහවුරු කරයි…

December 25, 2020 at 7:47 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නත්තල් දිනය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය පහත දැක්වෙයි.

“ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි.

එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සාමාජයීය වශයෙන් ගත්කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක් ද වන්නේය.

ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ් කොට ගනී. පාපයේ අන්ධකාරය දුරු කොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වේ. කොවිඩ් – 19 වසංගතය හමුවේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගි කොට ගත හැකිය.

මෙරට කිතුනු ජනයා නත්තල සමරනුයේ මින් වසරකට මඳක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතුය. එසේ වුවද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික වතාවත්හි නිරත වීමට සියලු දෙනාට අවස්ථාව සැලසීමට අපට හැකිවී තිබේ. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ද එලෙසින් ම සිදුවනු ඇත.

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ ශුභාරංචිය ලොව පැතිරේවා! ශ්‍රී ලංකාවාසී සියලු කිතුනු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා! යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.”

ගෝඨාභය රාජපක්ෂ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස