පාර්ලිමේන්තුව සුදු අලියෙක්….! යහපාලන කාලේ ආණ්ඩුව කළේ රසිම් සාලි….! අද හිල්මියි බැසිලුයි…! – දීප්ති කුමාර ගුණරත්න

March 22, 2021 at 9:46 am | by emanisa.lk

උතුරේ වසර 30ක් පැවැති යුද්ධය හුදු සමාජ ආර්ථික ප්‍රශ්නයක් විනා අනන්‍යතා අර්බුදයක් නොවෙන බව සමබිම පක්ෂය පවසයි.

සමබිම පක්ෂයේ ප්‍රධාන ලේකම් දීප්ති කුමාර ගුණරත්න මේ බව කියා සිටියේ, මාර්තු 19 දා පැවති ‘සමබිම’ පක්ෂය ජනගත කිරීමේ උත්සවයේ දී ය.

එම උත්සවය එදින පෙරවරුවේ දී පැලවත්ත කන්දෙවත්ත පාරේ පිහිටි එම පක්ෂ කාර්යාලදී සිදු කෙරිණි.

”ලංකාව තුල පවතින මුඛ්‍ය ගැටලුව වන්නේ ආණ්ඩුකරණය පිළිබද පවතින ප්‍රශ්නයයි. ඒ ගැන මෙතෙක් සිටි සහ සිටින දේශපාලකයන් කිසිවකු දන්නේ නැහැ. රටේ ප්‍රශ්නවලට උද්ඝෝෂණ හරහා විසඳුම් සොයන පිරිස දන්නේ නැහැ ඔවුන් ජනතාවගේ සැබෑ ගැටළුවලින් විතැන් වී සිටින බව. රාජ්‍ය පාලනය කිරීම යටගොස් ඒ වෙනුවට රජයෙන් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රශ්න සමාජ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ආණ්ඩුකරණය තීන්දු කළේ රසිම් සාලි බව සාමාන්‍ය ජනයා දන්නේ නැහැ. වර්තමාන පාලන තන්ත්‍රය මෙහෙයවමින් සිටින්නේ හිල්මි කාදර් සහ බැසිල් රාජපක්ෂ යන දෙදෙනායි. ඒ නිසා ලංකාව පාලනය වන්නේ පාර්ලිමේන්තුවෙන් නොවන බව මහ ජනයා දැනගත යුතුයි.
ලංකාව පාලනය කිරීමට නම් අලුත් පාලන ව්‍යුහයක් අවශ්‍යයි. එය ගොඩනගන විට ගම හා නගරය අතර පවතින පරතරය නැති කළ යුතුයි.

කොළඹ තුළ විශාල තදබදයක් නිර්මාණය වී තිබෙන්නේ ගම්වල මිනිසුන් රැකියා සඳහා කොළඹට පැමිණීම නිසයි. රාජ්‍ය යාන්ත්‍රනය තුළ මූලික ගැටළු නිර්මාණය වී තිබෙන්නේ සහ ගම්වල දුප්පත්කම ගොඩනැගී තිබෙන්නේ රාජ්‍ය නිලධාරීවාදයක් ගොඩනැගී තිබීම නිසයි.

බදුවලින් රාජ්‍ය සේවකයන් ලක්ෂ 14කට මාසික පඩි ගෙවනවා

මුලින්ම ආණ්ඩුව සිය ආදායම එකතුකර ගත යුතුයි. සියයට විස්සක ආදායමක් එකතු කරගත යුතුව තිබුණත් ආණ්ඩුව දැනට එකතු කරන්නේ සියයට එකොලහක ප්‍රමාණයක් පමණයි. එසේ නම් බදු මුදල් එකතු කරන්නේ කෙසේද යන්න පිළිබද නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. දැනට රජය එකතු කරගන්න බදුවලින් රාජ්‍ය සේවකයන් ලක්ෂ 14කට මාසික පඩි ගෙවනු ලබනවා. වැඩකරන ජනතාවගෙන් සියයට 60ක් නියුතු වන්නේ අවධිමත් රැකියාවලයි. විධිමත් ආර්ථිකයක් ඇති අය සිටින්නේ සියයට 20යි.

එවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයන් සිය සේවා කාලයෙන් පැය තුනක් හතරක් කාලය කා දමමින් ෆේස්බුක් වැනි සමාජ ජාලවල සැරිසරනවා. මෙවැනි පිරිසක් තමයි ගම්වල සිටින ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පත්කර සිටින්නේ. ගම්වල සිටින ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ගොවිතැනයි. එහිදී ඔවුන්ට වනසතුන් සමග ගැටෙන්න සිදුවී තිබෙනවා. මෙවැනි ප්‍රශ්න ගැන කොළඹ ඉඳන් ලක්ෂ 4-5ක මාසික වැටුපක් ගන්න උසස් රාජ්‍ය නිලධාරීන් දන්නේ කොහොමද? එවැනි අය පරිසර ප්‍රශ්න ධනවාදයෙන් වියුක්ත කරල විසඳුම් හොයනවා. කිසි දෙයක් වෙන්නේ නැහැ ඒ නිසා.

විශාල පරම්පරාවක් යූ.එන්.පී. එක පරාජය කරලා ධනවාදය පෙරලන්න උත්සහ කළා. බැසිල් රාජපක්ෂ ඒ පක්ෂෙට පාර්ලිමේන්තු ආසන එකක්වත් නැතිවෙලා යන්නම පරාජය කරලා දැම්මා. එහෙම උනා කියලා සමාජවාදය උදා උනේ නැහැ.

වමේ පක්ෂ බිස්නස්කාරයන්ගෙන් කප්පම් ගන්නවා

මේ රටේ විධිමත් බදු ප්‍රතිපත්තියක් නැහැ. සමබිම පක්ෂය තුළ ඒ විධිමත් බදු ප්‍රතිපත්තිය තිබෙනවා.
වමේ පක්ෂ බිස්නස්කාරයන්ගෙන් කප්පම් ගන්නවා. අපි එහෙම කරන්නේ නැහැ. රට තුළ යහපත් ආණ්ඩුකරණයක් නැති නිසා අධ්‍යාපනය, ගමනාගමනය, සෞඛ්‍ය ඇතුළු පොදු සේවාවන් කඩා වැටී තිබෙනවා. නිකන් ඉඳලා විශාල පඩියක් ගන්න රජයේ නිලධාරින්ට මේ ප්‍රශ්න සඳහා නිසි විසඳුමක් සොයන්න බැහැ.
මේ රාජ්‍ය නිලධාරින් කියන දේවල් අහන්න මැති ඇමතිවරුන්ට සිදුවී තිබෙනවා. එහෙම සිදුවන්නේ දේශපාලකයන්ට නිසි අධ්‍යාපනයක් හෝ සුදුසුකමක් නැති නිසයි.

ජාතික අධ්‍යාපන කොමිසමට වසර 30ක සිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති හඳුන්වා දී තිබෙනවා. මේ කිසිවක් මේ වනතෙක් පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න කිසිදු දේශපාලකයකු උත්සහ කර නැහැ. ආචාර්යවරුන් ප්‍රමිතිගතව උගන්වන්නේ නැහැ. අංශ ප්‍රධානීන් ලිංගික අල්ලස් ගන්නවා. අපි ඉදිරියේ දී එහෙම කරන තක්කඩින්ව හෙළිදරව් කරනවා.

පිඩිත පවුල්වලින් විශ්වවිද්‍යාලවලට ඇවිත් ඉගෙන ගන්න දරුවන් දන්නේ නැහැ තමන් ගන්න උපාධිය ප්‍රමිතිගත නැති බව. ඒ නිසා ඔවුන් ලබා ගන්න උපාධිවලින් වැඩක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියන වැඩකරු විශ්වොවිද්‍යාලවලට වෙලා තියෙන දේ ගැන දන්නේ නැහැ. අපි බලයට පැමිණි විගස උයන්ගොඩ වාර්තාව ක්‍රියාත්මක කරනවා. උසස් පෙළ විභාගයේ කිසිදු වටිනාකමක් නැහැ. ඒ නිසා අපි වෙනත් විකල්ප විභාගයක් හදුන්වා දිය යුතුයි.

ලංකාවේ පළාත් පාලනය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. යල්පැනගිය පළාත් පාලන නීති වෙනස් කර අලුත් නීති සැකසිය යුතුයි. පළාත් පාලන ආදායම් බදු නිසි ක්‍රමවේදයක් යටතේ එකතු කළ යුතුයි. ප්‍රාදේශීය නගර තිරස් අතට වෙනුවට සිරස් අතට ව්‍යාප්ත කළ යුතුයි. අපේ ක්‍රමවේදය තුළ පළාත් නගර සීමා නිර්ණය කර පළාත් නගරවල ඉදිකිරීම් ක්‍රමවත්ව ප්‍රමිතියකින් සකසනවා.

අපගේ අවධානය යොමුවන අනෙක් අංශය වන්නේ කෘෂිකර්මාන්තයයි. ලංකාවේ ගොවීන්ගේ ආත්මීය ප්‍රශ්න ප්‍රමුඛයි. අපි ඒ බව මතක තබා ගත යුතුයි. මේ ප්‍රශ්න විසඳීමට සංවර්ධන ජනමාධ්‍යවේදීන් අවශ්‍යයි. ගම්වල ආර්ථිකය සංවර්ධනය ආශ්‍රිත ජනමාධ්‍යවේදය හරහා දියුණු කළ හැකියි. පරිසර විනාශය මේ හරහා විසඳිය හැකියි. ලංකාවේ ඉඩම් මේ වනතුරු මැනලා නැහැ. ඒ නිසා රටේ ඉඩම් මැනීම අනිවාර්යෙන්ම අපි කරනවා. ඊ හරහා බොහෝ ගැටලු ප්‍රමාණයක් විසඳෙනවා.

අප සමග වැඩ කිරීමට එකතු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා ප්‍රශ්නය ඉවර වූ විගස අපි ගමක් ගමක් ගානේ එනවා. ව්‍යාපාරිකයන් අපිව වටකරගන්න කලින් අපි සමග අත්වැල් බැඳගන්නා ලෙස අවසාන වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස