නොරෙච්චෝලේ දිව්වේ අධීක්ෂණ නිලධාරියෙක් නැතිව! රටටම විදුලිය බිඳ වැටුණේ ඒකයි! – විදුලි පොදු සේවක සංගමය

August 17, 2020 at 1:59 pm | by emanisa.lk

ලක් විජය බලාගාරය විදුලිබල මණ්ඩලයේ හදවතයි. බලාගාරය තුළ සිදුවන රසායනික ක්‍රියාවලිය නිතරම අධීක්ෂණය කළ යුතුය. ඒ සඳහා වගකිවයුතු අත්දැකීම් බහුල නිලධාරීන් සිටීම අත්‍යවශ්‍යය. මන්දයත් එහි සිදුවන රසායනික වෙනසක ප්‍රතිඵලය භුක්ති විඳින්නට සිදු වන්නේ වසර කිහිපයකින් පසුව ය.

එවැනි තත්වයක් යටතේ ලක් විජය බලාගාරයේ සේවය කළ රසඤ (Chemist)වරයා කැලණිතිස්ස බලාගාරයට ස්ථාන මාරු කර ඇති බව අප වෙත වාර්තා වේ.

කැලණිතිස්ස බලාගාරය අනුමත කාර්ය මණ්ඩලයේ Chemist තනතුරු එකක් පමණක් ඇති අතර ඒ සඳහා මේ වන විටත් නිලධාරියෙක් රාජකාරි සිදු කරයි. නමුත් ලක් විජය බලාගාරය තුළ අනුමත කාර්ය මණ්ඩලයේ Chemist තනතුරු 2ක් ඇති අතර එයිනුත් එහි සේවය කළ අදාළ නිලධාරියා ස්ථාන මාරු කිරීමත් සමග මේ වන විට Chemist තනතුර 2 කම පුරප්පාඩු වී ඇත. දැන් බලාගාරය ධාවනය වන්නේ වගකිවයුතු අධීක්ෂණ නිලධාරියෙක් නොමැතිවය.

මෙගා වොට් 900 ක බලාගාරයක් මෙලෙස අනතුරට පත් කිරීමට තීරණ ගත් පුද්ගලයන්ට විරුද්ධව තරාතිරම නොබලා වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ලංවිම සාමාන්‍යාධිකාරීතුමන් නීතිය ක්‍රියාත්මක ආකාරය දෙස අපි බලා සිටිමු.

එසේම ලංවිම (විනය පටිපාටිය)ට අනුව මෙවැනි නීති විරෝධී කටයුතු හෙළි කිරීම “සමාජ මාධ්‍ය දුරාචාරයේ යෙදවීමක්” ලෙස සැලකුවද මෙය වෘත්තීය සමිතියක් ලෙස අපගේ යුතුකම හා වගකීමක් බව දන්නා නිසාත් අපි සමාජ මාධ්‍ය මෙලෙස දුරාචාරයේ යොදවන්නෙමු.

මේ පිළිබඳව ලංවිම පාලනාධිකාරිය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපි දැඩි සැලකිල්ලෙන් බලා සිටිමු.

තම තමාගේ පුද්ගලික වුවමනා මත ජනතා මුදල් නාස්ති කිරීම විරුද්ධවය ජනමතයක් ගොඩනැගීමට කාලයයි මේ.

ලංකා විදුලි පොදු සේවක සංගමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස