නීති නිලධාරිනිය මා නොමග යවලා… ඥානසාර හිමි සිරගත වුණේ ඒකයි… හිටපු ජනාධිපති මහා සංඝ රත්නයෙන් සමාව අයදී…!

October 19, 2026 at 6:12 pm | by emanisa.lk

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත කිරීමට හේතු වූයේ තම නිලධාරීන්ගේ වරදක් නිසා බවත් ඒ පිළිබඳ සමස්ත මහා සංඝ රත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයද සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ මහ ජනතාව මේ සම්බන්ධයෙන් නගන ගැටලු සඳහා පිළිතුරු ලබා දෙමින් නිවේදනය නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කිරීමේදී අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ, උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවය.

ගරු අධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, තමා එම තීන්දුවට ගරු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු දෙකක් විභාග වී ඇති අතර, අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ (37417/10 සහ 40042 යන නඩු අංක යටතේ) මෙම නඩු පැවතී ඇත.

මෙම නඩු දෙක යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සඳහා අදාළ ලිපි ලේඛන අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ලබාගත යුතු විය.

ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය විසින් ඒ බව තමාට දන්වා සිටියද, අදාළ ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නොමැති බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව, අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව හුදෙක් තමාගේ අත්සන පමණක් ලබාගෙන ඇති අතර, එය තමා නොමග යැවීමක් බව හෙතෙම සඳහන් කරයි.

තම මණ්ඩලයේ එවකට කටයුතු කළ නිලධාරීන්ගේ මෙම වරද හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමීන්ට යළි සිරගත වීමට සිදුවී ඇති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, එවකට තම නිලධාරීන් අතින් සිදුවූ එම අත්වැරැද්ද සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කර ඇත.

අන්තර්ජාලයෙන් ලබාගත් අදාළ අධිකරණ තීන්දුවේ පිටපතක් හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම කරුණු අනාවරණය කරගත් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් දන්වා සිටියි.

පාක්‍යසෝති සරවනමුත්තුගේ රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සන්ධ්‍යා එන්නැලිගොඩ විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත මෙම නව තීන්දුව ලැබී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස