අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වසර හයක සිරදඬුවම් නියම වී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කළ පොදු සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ, අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අද (10) එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සම්බන්ධයෙන් එවකට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පැවැත්වුණු නඩු විභාගයකදී වැරදිකරු වශයෙන් තීන්දු වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 2018 වසරේදී අභියාචනාධිකරණය විසින් වසර හයක සිරදඬුවමක් නියම කෙරිණි.
එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන පසුව එහිමියන්ව පොදු සමාවක් මත නිදහස් කර තිබිණි. එවක හෝමාගම මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ රංග දිසානායක මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.