දඹුලු නායක හිමියන්ගේ කෝටි 10ක කප්පම් ඉල්ලූ තිදෙනා අත්අඩංගුවට! නාහිමිගේ වාහනේට පෙට්‍රල් බෝම්බ ගහන්න සැලසුම් කරලා!

June 9, 2019 at 12:36 pm | by emanisa.lk

දඹුල්ල රජමහ විහාරයේ හා ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ භාරකාර හා මාතලේ දිසාව භාර උප ප්‍රධාන සංඝනායක පුජ්‍ය අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන්ට අවස්ථා කීපයකදී දුරකථනය ඔස්සේ තර්ජනය කරමින් රුපියල් කෝටි දහයක් කප්පම් ගැනීමට උත්සහා දැරූ තරුණයින් තිදෙනකු ඒ් සඳහා උපයෝගී කරගත් ජංගම දුරකථන පහක්, පැට්‍රල් බෝම්බයක් සමග දඹුල්ල පොලිසිය මගින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

කප්පම් ඉල්ලීමට යොදාගත් ජංගම දුරකථන අංක ඔස්සේ ඉකුත් මස 20 දින සිට සති තුනක පමණ කාලයක් තිස්සේ අධිකරණ නියෝගයක් මත සුක්ෂ්මව සිදුකළ විද්‍යාත්මක විමර්ශනයකින් පසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරතන මහතා පැවසිය.

මෙම සැකකරුවන් දැනට තහනමට ලක්කර ඇති තව්හිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයින් ලෙස පෙනි සිටිමින් නායක හිමියන් බිය වද්දමින් කප්පම් ගැනීමට උත්සහා දරා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරු දඹුල්ල, උසාවිය හන්දිය පදිංචි 34 හැවිරිදි අයෙකි. දෙවන සැකකරු සිගිරිය, පොතාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකි. තෙවන සැකකරු 19 හැවිරිදි දඹුල්ල – රත්මල්කටුව පදිංචි අයෙකි.

පළමු හා දෙවන සැකකරුවන් නායක හිමියන් වැඩ වෙසෙන දඹුලු මැද පන්සල විහාරස්ථානයට යාබදව පිහිටි විහාරස්ථානයක නායක හිමියන්ගේ වාහනයක රියදුරන් වශයෙන් සේවය කරන දෙදෙනකු බව පොලිසිය කියයි.

නායක හිමියන් ගමන් කරන වාහනයට පැට්‍රල් බෝම්බ ගසා හානි කිරීමේ උත්සහයක්ද තිබී ඇති බවද සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස