තේ නමින් ප්‍රති-අපනයනට සූදානම් කළ කෝටි 900ක සිගරට් අල්ලයි…! දැවැන්ත ජාත්‍යන්තර ජාවාරමක කොටසක් බවට සැකයක්…!

May 14, 2021 at 7:45 am | by emanisa.lk

ප්‍රති-අපනයනය කිරීමේ මුවාවෙන් ආනයනය කරන ලද බහාලුම් විසි එකක තිබී රුපියල් කෝටි නවසියයකට අධික වටිනා විදේශ දුම්වැටි කෝටි විස්සක් රේගුව ඊයේ (13) අත්අඩංගුවට ගන්නා ලදී.

රේගු ඉතිහාසයේ මෙවැනි සිගරට් වැටලීමක් කළ ප්‍රථම අවස්ථාව මෙය බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පවසයි.

මේ බහාලුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට ආනයනය කර අන්තරාල වෙළෙඳාම යටතේ නැවත නෙදර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය ආදී යුරෝපීය රටවල්වලට ප්‍රති-අපනයනය කිරීමට සූදානම් කර තිබී ඇත.

එහි භාණ්ඩ විස්තරය ලෙස සඳහන් කර ඇත්තේ ‘සිලෝන් බ්ලැක් ටී’ වශයෙනි. එමෙන්ම අදාළ බහාලුම්වල අපනයනකරු වශයෙන් මෙරට සුප්‍රසිද්ධ තේ අපනයන සමාගමක නම සඳහන් කර තිබී ඇත.

ජාවාරම්කරුවන් දැනටමත් මේ ආකාරයෙන් වංචනික ලෙස බෙල්ජියම්, නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය ආදී රටවල්වලට බහාලුම් 12ක් අපනයනය කර ඇති බවට අනාවරණය වී ඇත.

එහෙත් මෙම බහාලුම් සම්බන්ධයෙන් එම රටවල ආනයනකරුවන්ගෙන් විමසීමේ දී ඔවුන් පවසා ඇත්තේ ආනයන කටයුතු සඳහා තම ආයතනවල සම්බන්ධයක් නොමැති බවයි. මෙම ජාවාරම ජාත්‍යන්තර ජාවාරමක එක් පුරුකක් විය හැකි බව රේගුව සැක පළ කරයි. මෙම දුම්වැටි රටට නීති විරෝධීව ඇතුළු කිරීමට සැලසුමක් තිබුණේ ද යන්න පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස