නාගනන්ද කොඩිතුවක්කු රේගු අධ්‍යක්ෂවරිය ඉවත් කිරීමේ කුමන්ත්‍රණය හෙළි කරයි!

February 1, 2019 at 4:16 am | by admin

මෙහෙමත් නිවට කාලකන්නි ජාතියක් !

ඇගේ නම සරෝජිනීදේවී චාල්ස් නම් විය. ඇය දිරිය ඇති එඩිතර සැබෑ ‘ශ්‍රී ලාංකික’ කාන්තාවක් විය. රාජ්‍ය සේවයේ නම රැඳවු ඇය පුදුකුඩුඉරිප්පු අවසන් සටනේදී, දමිළ සිවිල් වැසියන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම රජයට බලවත් අසීරු වූ අවස්ථාවේ, ඔවුන් එම ප්‍රදේශයෙන් ආරක්ෂා සහිතව ඉවත් කිරීමට ක්‍රියා කලේය. ඇය එවිට වව්නියාවේ අතිරේක දිසාපති වූ අතර පසුව මඩකලපුව දිසාපති වශයෙන් සේවය කරමින් සිටියදී මංගල සමරවීරගේ නිර්දේශයක් මත ඇය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරිණ.

ඇය නීතියේ ආධිපත්‍ය ගරු කල රාජ්‍ය නිලධාරිනියකි. ඇයට කලින් සිටි චුලනන්දගේ බරපතළ වංචා හෙළා දුටු ඇය, ඔහු යටතේ පැවති රජයට බිලියන ගණන් අහිමි කල ව්‍යාජ රේගු නඩු තීන්දු තරයේ ප්‍රතික්ෂේප කළා පමණක් නොව ඇයගේ මතය අධිකරණය වෙත නිර්භයව ලිඛිතව ඉදිරිපත් කළේය. මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කලවම් කල පාම් ඔයිල් කන්ටේනර් 24 ක් රේගු අධ්‍යක්ෂකයකු විසින් නීති විරෝධීව නිදහස් කල විට මහජන අයිතිය ආරක්ෂා කිරීමට එම නියෝගය අධිකරණය හමුවේ අභියෝග කරන ලද අවස්ථාවේ එම කලවම් කල පාම් ඔයිල් තොගය සම්බන්ධව දෙන ලද වැරදි තීන්දුව ප්‍රතික්ෂේප කර ඒ බව අභියාචනාධිකරණ වෙත ලිඛිතව දැනුම් දීමට ඇය පසුබට නොවීය.

එසේම ඇය දුෂිත රේගු නිලධාරීන්ට එරෙහිව රේගු නීතිය ක්‍රියාත්මක කිරීමටද පසුබට නොවීය. පසුගිය මාස කීපයට පමණක් එවැනි නිලධාරීන් 14 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට ඇය ක්‍රියා කළේය.

ලලිත් වීරතුංග වැනි පරිපාලන සේවයේ නිවටයින්, දේශපාලුවන් හමුවේ දනින් වැටී රාජ්‍ය මුදල් වංචා කර හිරේ විලංගුවේ වැටෙන රටක ඇය සැබවින්ම ලක්මවට ආඩම්බරයකි. BMW වාහන සම්බන්ධ බිලියන 16 ක බදු වන්චා නඩුවේදී ඇයට පැමිණි බලපෑම් ඇය සත පහකට මායිම් නොකළ බවද ඇගේ ස්වාධීන මතය අධිකරණය වෙත දැනුම් දීමට ක්‍රියා කල බවද මතක් කල යුතුය.

නමුත් අද ශ්‍රී ලංකාව තක්කඩින් රජයන රාජ්‍යයක් බවට පත්වී හමාරය. අද ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍ය වැළලී ගිය රටවල් අතර මුල් තැනක් ගනියි. මෙවැනි දුෂිත දේශපාලුවන් හමුවේ දනින් වැටෙන පරිපාලන නිලධාරීන්ගෙන් පිරී ගිය රටකට ඇය නොවැදගත් කාන්තාවකි. අමාත්‍යවරයා රාජ්‍ය දේපළ මංකොල්ලකන අයකු වූ විට ඇය නොවැදගත් අයකුවීම අරුමයක් නොවේ. මුදල් අමාත්‍යංශයේ ලේකම් සමරතුංගට ඇය හිසරදයක් වුයේ ඇයි. ඇය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කාර්ය රේගු නීතිය ප්‍රකාර මිස ඇමතියාට හා ලේකම්ට අවැසි ලෙස ඉටු කිරීම ප්‍රතික්ෂේප කල හෙයිනි.

කෙසේ වුවත් ජනරජයේ විධායක බලය ඇති ජනාධිපති වරයෙකු ‘නාමිකව’ ඇත. ඔහු අන්ධයකු නොවේ. රටේ නීතියේ ආධිපත්‍ය ගරු කිරීමටත්, මෙවැනි නිලධාරීන් ආරක්ෂා කිරීමටත් ඔහුට බරපතළ ව්‍යවස්ථාපිත වගකීමක් ඇත. ඔහු එය පැහැර හරින්නේ නම් ජනතාවට තව දුරටත් නිද්‍රාශීලීව ඉවත බලා සිටිය නොහැක. නීතියේ ආධිපත්‍ය ගරුකරන ලෙස ඔහුට තරයේ බලකිරීමට ජනතාව සහ ජනතාව නියෝජනය කරන සියලුම ජනමාධ්‍ය නොපැකිළිව ඉදිරිපත් විය යුතුය.

(Nagananda Kodituwakku ෆේස්බුක් පිටුවෙනි.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස