වික්ටර් අයිවන් අදූෂණ විරෝධී නාගනන්දගේ කලිසම ඔළුවෙන් ගලවයි!

April 10, 2019 at 12:31 pm | by admin

මම නාගානන්ද කොඩිතුවක්කු දීර්ඝ කාලයක් තිස්සේ හඳුනමි. මා ඔහුගෙන් ලබාගත් කිසිදු උදව්වක් නැතත් ඔහු නම් මගෙන් උදවු ලබාගෙන තිබේ.

ඔහු රේගුවේ (Sri Lanka Customs) සිදුවන වංචා අල්ලන වැඩසටහනක් මගින් ප්‍රකෝටිපතියකු බවට පත්වු පුද්ගලයෙකි. හොරකම දූෂිත වනවා සේම ලංකාවේ සිදුවන බොහෝ හොරකම් ඇල්ලිමද දූෂිතය. ඒ කාලයේදීම මා ඔහු සමග කරන කථාබහකදී හොරකම් කරන අය හොරකමින් සොයන ධනයට වැඩි ධනයක් ඔබ හොරකම් ඇල්ලීමෙන් උපයාගන්නවා නොවේදැයි මම ඔහුගෙන් ප්‍රශ්න කළා මට මතකය.

සාමාන්‍යයෙන් වැටුප් ලබන රජයේ සේවකයෙකු වංචා අල්ලා දුන්නද ලැබිය යුත්තෙ ප්‍රසංසා මිස ධනය නොවේ. කොඩිතුවක්කු ඒ කාලයේදී ප්‍රකෝටිපතියෙකු බවට පත්ව සිටියේ රේගුවේ කෙරෙන වංචා ඇල්ලීමෙන් ලබාගත් තෑගි මුදල් වලිනි.

ඔහු ලංකාවෙන් පලාගියේ රේගු නිලධාරියෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියක් සමගය. ඔහු පලායන්නට පෙර මට ඒ බව දැනුම් දුන්නේය. ඉන්පසු ලංකාවට ආවේ මහින්ද රාජපක්ෂ බලයට පත්වූ පසුවය. ඒ ආවේද රේගු අධ්‍යක්ෂ ධුරය හෝ ඒ සමග ලොකු තනතුරක් ලබාගැනීමේ අරමුණ ඇතිවය. දූෂණ විරෝධී මේ පාරිශුද්ධ මිනිහා පස්සා දොරෙන් ඒ ගනුදෙනුව කරන්නට උත්සාහ කළේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ක්‍රියාකල ගාමිණී සේදර සෙනරත් හරහාය. පළමු ගමනේදී සේම දෙවන ගමනේදී ද ඔහු මා හමුවන්නට ආවේය. ඔහු රේගුව ගැන සකස්කළ වාර්තාවක්ද ජනාධිපතිවරයාට යවා තිබුණි. මේ ගනුදෙනුවේ දී ඔහුට ආධාර කරන්නේ ගාමිණී සේදර සෙනරත් බව කී විට ඔබ තනතුර ලබාගන්නට උත්සාහ කරන්නේ ආණ්ඩුවේ සිටින ලොකුම තක්කඩියාගෙන් නොවේදැයි මම ප්‍රශ්න කළෙමි. ඔහු රාජපක්ෂ විරෝධියෙකු බවට පත්වූයේ පස්සා දොරෙන් ලබාගන්නට උත්සාහකළ තනතුර ලබාගැනීමට අසමත් වීමෙන් පසුවය.

ඔහු පසු කාලයක කොළඹ ඩොක්යාඞ් (Colombo Dockyard) සමාගමට අදාළ රුපියල් මිලියන 900ක රේගු බඩු වංචාවකට අදාළ නඩුවකට පෙනී සිටියේය. ඔහු එම නඩුව ගැන ලොකු ප්‍රවෘත්ති ආවරණයක් මගෙන් බලාපොරොත්තු විය. ඔහු ඒ ගැනත් වෙනත් දේවල් ගැනත් මට එවා තිබෙන ඊමේල් සංඛ්‍යාව ඉතා විශාලය. දුරකතනයෙන් කතාකළ වාර ගණන ද විශාලය. ඒවා මැකිය නොහැකි සාක්ෂි ලෙස සැලකිය හැකිය. පසු අවස්ථාවක දී ඩොක්යාඞ් නඩුව ගැන මා ලියන ලද මුත් එම වාර්තාකරණයේ ඔහු ගැන කිසිවක් සඳහන් නොකළේ හිතාමතාය. එය ඔහුගේ බලවත් අසතුටට පත්වූ බව පෙනෙන්නට තිබුණි. ඔහුගේ සමහර අභිලාෂයන් නීතීඥ වෘත්තියේ ආචාරධර්මවලට පටහැනිය. ඔහු ප්‍රසිද්ධයට විශාල කෑදරකමක් දක්වන්නෙකු බව මම දැන සිටියෙමි. එම විෂය ගැන පරීක්ෂණයකට ගියහොත් ඔහුගේ නීතීඥකම පවා අහිමි විය හැකිය.

ඔහු ඊළඟ ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශකර ඇති නිසා මම කොඩිතුවක්කුගෙන් ප්‍රශ්න දෙකක් අසන්නට කැමැත්තෙමි. ඔබ රේගුවේ සේවය කරන කාලයේදී තෑගි වශයෙන් ලබාගත් මුදල්වල වටිනාකම රුපියල් කෝටි කීයක්ද? ඒ මුදල් ප්‍රමාණය ලබාගත්තේ වාර කීයකදීද? ඒ තොරතුරු ප්‍රකාශයට පත්කළ පසු මා මාගේ ඊළඟ සටහන ඉදිරිපත් කරන්නට කැමතිය.

වික්ටර් අයිවන්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *