සිය දේශපාලන නිමැවුම්කරුවාට එරෙහි වීමට තරම් ඩලස් අලහප්පෙරුමගේ දේශපාලන අධ්‍යාත්මය නිර්වින්දනය වී ඇතැයි සාගර කාරියවසම් පවසයි.
පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ 2005 මෙන් ම 2010 වසරේ ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබා දෙමින් ද කැබිනට් ඇමැති ධූර ලබා දෙමින් ද ඩලස් දේශපාලනයේ ඉහළට ඔසවා තැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවය.
සිය පෞද්ගලික ජනාධිපති සිහින වෙනුවෙන් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් විය යුතු බවට ලිපියක් ලියූ ඩලස් අලහප්පෙරුම රට දැඩි අර්බුදයක ගිලී පවතින අවස්ථාවක පොදු අභිලාෂ පසෙක ලා පෞද්ගලික න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කළ බවට ද සාගර කාරියවසම් චෝදනා කරයි.
විදුලිබල අමාත්‍යවරයා ලෙස විදුලි අර්බුදය විසඳීමට කිසිවක් නොකළ ඩලස් අලහප්පෙරුම අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ද සිය වගකීම ඉටු නොකළ බව ද ඔහු පෙන්වා දෙයි.
ඩලස් අලහප්පෙරුම සමග තමන්ට කිසිදු පෞද්ගලික ගැටලුවක් නොමැති බවත් පෞද්ගලික අභිලාෂ පසෙකලා පොදු අභිලාෂ වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවක නැවත එකට දේශපාලනය කළ හැකි බවත් සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් පවසයි.