පොහොට්ටු සභාපතිවරු බාන්න දයාසිරිගෙන් සුපිරි ප්ලෑනක්! දකුණේ රාසපුත්‍ර දැනටමත් වැඩේ පටන් අරන්!

March 13, 2019 at 6:06 pm | by admin

දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන්වීමට ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකි. මේ නිසා පළාත් සභාවේ ඇමතිවරුද මේ දිනවල ගජරාමෙට වැඩය. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පළාත් සභාවේ නිල කාලය අවසන්වීමට පෙර රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් ලබාදීමට සැලසුම් කොට තිබේ. දැනගන්නට ඇති පරිදි රැකියා අවස්ථා 1800ක් ලබාදීමට සැලසුම් කොට ඇති බවද පැවසේ. ගැටලූව ඇත්තේ එම රැකියා අවස්ථා බෙදා දීම ගැනය. පළාත් අධ්‍යාපන ඇමති චන්දිමා රාසපුත‍්‍රට එරෙහිව මේ ගැටලූව මුල්කරගෙන ඇතැම් ශ‍්‍රි.ල.නි. පක්ෂ සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින් අවි අමෝරාගෙන සිටිති.

මේ ගැන ජනාධිපතිවරයාට මෙන්ම පක්ෂයේ මහ ලේකම්වරයාටද පැමිණිලිකොට ඇති බවද දැන ගන්නට තිබේ. චන්දිමා රාසපුත‍්‍ර ඇමතිවරයා විසින් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත‍්‍රීවරුන්ට රැකියා අවස්ථා 05 බැගින් හා එජාප, ජ.වි.පෙ. මන්ත‍්‍රීවරුන්ට රැකියා අවස්ථා 02 බැගින් මේවන විට බෙදා තිබේ. මීට අමතරව පොහොට්ටුවේ සභාපතිවරුන්ට, උප සභාපතිවරුන්ට ද රැකියා අවස්ථා විශාල වශයෙන් ලබාදී ඇති බවද දැන ගන්නට තිබේ. ඒ විතරක් නොව එජාපයේ මංගල සමරවීර හා සාගල රත්නායක යන ඇමතිවරුන්ටද රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් ලබා දී ඇති බවද පැවසේ. ගැටලූව පැන නැගී ඇත්තේ ශ‍්‍රි.ල.නි. පක්ෂයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ට කිසිදු රැකියා අවස්ථාවක් ලබා නොදීම ගැනය. පළාත් අධ්‍යාපන ඇමතිකම ශ‍්‍රි.ල.නි.පක්ෂයට අයිතිවුණාට වැඩක් නැහැ. ශ‍්‍රි.ල.නි. පාක්ෂිකයින්ට තැනක් නැහැ. පාක්ෂිකයින් ශක්තිමක් කරන්නේ නැහැ. රාසපුත‍්‍ර ඇමතිවරයා වෙනත් පක්ෂවල අය තමයි ශක්තිමත් කරන්නේ ශ‍්‍රි.ල.නි. පක්ෂයේ ඇතැමුන් මෙවැනි කථාද කියති.

දෙනියාය ආසනයේ පොහොට්ටුවේ සභාපතිවරයෙකුට රැකියා අවස්ථා 10ක් ලබාදීම ගැන දෙනියාය ආසනයේ ශ‍්‍රි.ල.නි.පක්ෂයේ සංවිධායකවරයාද වන විජය දහනායකට යකා නැග තිබුණි. දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ද විජය දහනායක මේ ගැන කථා කළේය. බෝම්බ කාගෙන වෙඩිකාගෙන ශ‍්‍රි.ල.නි. පක්ෂය වෙනුවෙන් කළ කැපවීම ගැන ද මෙහිදී විජය දහනායක සිහිපත් කළේය.

චන්දිමා රාසපුත‍්‍ර ඇමතිවරයාද රැකියා ලබාදීම ගැන තමන්ට එල්ලවන චෝදනාවලට පිළිතුරු දුන්නේය. ශ‍්‍රි.ල.නි. පක්ෂය ශක්තිමත් කරන්න නම් විශේෂයෙන් පොහොට්ටුවේ ක‍්‍රියාකාරීන් අපි දිනා ගත යුතුයි. දයාසිරි ජයසේකර ඇමතිවරයා සැලසුමක් හදලා තියෙනවා ගම්මට්ටමින් සාමාජිකයින් බඳවාගෙන පක්ෂය ශක්තිමත් කිරීම ගැන. ඉතින් මමත් කරන්නේ පක්ෂය ශක්තිමත් කරන්න අවශ්‍ය කටයුතු කිරීමයි රාසපුත‍්‍ර කීවේය.

රාසපුත‍්‍ර ඇමැතිවරයා පොහොට්ටුවේ මාතර දිස්ත‍්‍රික් නායකයා වන ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සමග එතරම් ඇයි හොඳැයියක් නැත. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එවකට සන්ධානයේ ප‍්‍රාදේශීය සභා සභාපතිවරු උපසභාපතිවරු රැසක් ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් බැහැලා වැඩ කළහ. මේ නිසා රාසපුත‍්‍ර ඇමතිවරයා ඉදිරි පළාත් සභා මැතිවරණයකදි පොහොට්ටුවේ සභාපතිවරු උප සභාපතිවරු තමන් වෙත දිනා ගැනීම සඳහා මෙන්ම ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයාට රිද්දවීම සඳහා මේ අයට රැකියා අවස්ථා ලබාදුන් බවට ද ඇතැමුන් පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස