මත ගැටුම් මැද පොදුජන පෙරමුණු ශ්‍රීලනිප සන්ධාන සාකච්ඡාව අද! දෙපැත්තෙන් තිදෙනා බැගින් සාකච්ඡා මේසයට!

March 14, 2019 at 8:51 am | by admin

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීම සම්බන්ධව අද (14දා ) නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කෙරෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ සඳහන් කළේය.

මෙම සාකච්ඡුාව සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කර තිබෙන නියෝජිතයන් විවෘත මනසකින් සාකච්ඡාවට සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල, හිටපු මහ ලේකම් රෝහණ ලක්‍ෂ්මන් පියදාස යන මහත්වරුද එක්වෙති.

ජනාධිපති අපේකෂකත්වය පිළිබඳ දෙපාර්ශවය අතර මෙතෙක් කිසිදු එකඟතාවක් නොමැත. ශ්‍රීලනිප මහ ලේකම් මෑතක ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකත්වය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමි විය යුතු බවය. කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ ද අනාගත ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවේ සාමාජිකයකු බව පැවසූහ. ඊට පසු ජනාධිපති අපේක්ෂකත්වය නොමැති නම් අගමැති අපේක්ෂකත්වය හෝ ශ්‍රීලනිපයට හිමි විය යුතු බව ප්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *