තනියම සටන් කරලා දැන් මට මහන්සියි! අපි මේ තරම් පහළ ක්‍රීඩා කළ අය නෙවෙයි!- ලසිත් මාලිංග

July 1, 2019 at 7:41 am | by emanisa.lk

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් තනිවම සටන් කරමින් සිටි තමාද දැන් වෙහෙසට පත්ව සිටින බව වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි. නමුත් ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටිය හැරදා යන්නේ එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව බවද සඳහන් කර සිටියි.

‘ක‍්‍රිකට්වලට කරපු හානිය කියලා නිම කරන්න බැහැ. මම තනියම ‘ෆයිට්’ කළා දැන් මටත් මහන්සියි. හැබැයි විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට සුදුුසුකම් ලැබීමේ තරගාවලියකට මුහුණ දෙන්න තියෙනවා. ඒ වගේ තත්ත්වයකදී මම කණ්ඩායම දාලා යන එක හොඳ නැහැ.’

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වේ. එම තරගාවලිය ලසිත් මාලිංගගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය වන අතර ඔහු ඒ සඳහා ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න සලකා බලන්නේ ක‍්‍රිකට් ප‍්‍රධානීන් සමග සාකච්ඡාවකින් පසුව බවද සඳහන් කරයි.

‘සුදුසුකම් ලැබීමේ තරගාවලිය දිනලා දීලා විස්සයි විස්ස ලෝක කුසලානට තේරුණාට පස්සෙ අයින් වුණාට මට කමක් නැහැ. මොකද මට ලෝක කුසලාන ගහන්න දැන් ආශාවක් නැහැ. විස්සයි විස්ස ලෝක කුසලානට යනවද කියන එකත් ක‍්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරන්න ඕන. ඒ අයගෙ දැක්ම මොකද්ද කියලා මම අහනවා. ඊට පස්සෙ මගේ දැක්ම මම කියනවා. ඒ අනුව තමයි මම තීරණය කරන්නෙ යනවද නැද්ද කියලා. ඒක ගැලපෙන්නෙ නැතිනම් මම සමුගන්නවා.’

ක‍්‍රිකට් ආයතනය එන අය හරිද නැද්ද කියන එක තීරණය කළ යුතු බවත් නුසුදුසු පුද්ගලයන්ට එන්න නොදිය යුතු බවත් ලසිත් මාලිංග පවසයි. ‘මම එළැඹෙන බංග්ලාදේශ හෝ නවසීලන්ත සංචාරයෙන් පසුව ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් (පන්දුවාර 50) විශ‍්‍රාම යනවා. මොකද මම ආසයි ලංකාවෙදි තරගයක් සෙල්ලම් කරලා සමුගන්න. ඒ සමුගැනීමේ තරගය නුවන් කුලසේකරත් එක්ක ක‍්‍රීඩා කරන්න තමයි මම කැමැත්තෙන් ඉන්නෙ. මොකද ඔහු අවුරුදු දහයක් මගෙත් එක්ක ක‍්‍රීඩා කළා. අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වල අංක එකට ආපු එකම ලංකාවේ පන්දු යවන්නා ඔහුයි. ඒ වෙනුවෙන් මම මහන්සි වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා එහෙම සමුගන්න ලැබෙයි කියලා.’

‘මගේ ඇඟේ තියෙන ශක්තිය ඉස්සර වගේ දැැන් නැහැ. මොකද මම දැන් වයස 36 ක ක‍්‍රීඩකයෙක්. තරගයේදී මගේ තියෙන අත්දැකීම් ප‍්‍රයෝජන ගත්තට අනිත් අයව පරාජය කරන්න පුළුවන් ශක්තියක් දැන් නැහැ. ඒ නිසා සමුගැනීමේ කාලය හරි කියලා මම හිතනවා. අපි දැන් නව වැනි තැන ශ්‍රේණිගත කිරීම්වල ඉන්නෙ. මම තව ක‍්‍රීඩා කරන මාසයක දෙකක කාලය තුළදී තවත් ශ්‍රේණිගත කිරීම් ස්ථාන දෙකක් හරි ඉහළට යන්න පුළුවන්නම් ඒක තමා මම ලබන සතුට. මොකද අපි මේ තරම් පහළ ක‍්‍රීඩා කරපු අය නෙමෙයි. ශ්‍රේණිගත කිරීම්වල දෙක, තුන හතර ක‍්‍රීඩා කරපු කණ්ඩායමක් තමයි ලංකාව.’ යනුවෙන් මාලිංග බී.බී.සී. ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස