ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් NGOවලට කෝටි 5000ක රට සල්ලි! අන්තවාදය ත්‍රස්තවාදය බෝ කරන NGO මෙල්ල කරන්න පනතක් ළඟදිම!

September 27, 2020 at 8:47 am | by emanisa.lk

විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ මෙරටට ලැබුණු රුපියල් කෝටි 5,000කට අධික මුදල් අවභාවිත වී ඇති බවත් එම මුදලින් කොටසක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කටයුතු හා අන්තවාදය පැතිරවීම සඳහා ද යොදා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. මෙයින් වැඩි මුදලක් රාජ්‍ය නොවන සංවිධාන 280ක් ඔස්සේ ලැබී තිබේ.

විදේශීය ආධාර ලබා ගන්නා ජාතික මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන 404 ක් හා ජාතික මට්ටමේ ආධාර ලබා ගන්නා හා විදේශීය ආධාර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සංවිධාන 1,245ක් ලියාපදිංචිව ඇති අතර මේ සංවිධාන 1,644න් මේ වන විට සක්‍රිය තත්ත්වයේ පවතින්නේ 669කි. පසුගිය දා හෙළි වූ නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ සේව් ද පර්ල් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ගිණුමට කටාර්හි නීති විරෝධී සංවිධානයකින් රුපියල් මිලියන 13ක් එවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලදී.

මේ පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ රාජා ගුණරත්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙරට අන්තර්ජාතික, ජාතික, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලෙසින් ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන 38,019 ඇති බවත් එයින් විදේශ ආධාර ලබන හා ජාතික මට්ටමේ සංවිධාන 1,649න් සංවිධාන 980ක් මේ විට අක්‍රිය තත්ත්වයේ ඇති බවයි.

රාජ්‍ය නොවන සංවිධාන අක්‍රිය වූ විට කළ හැකි කාර්යයන් පිළිබඳ නිසි ක්‍රමවේදයක් මෙරට නොමැති වීම හා රාජ්‍ය නොවන ආයතන පිළිබඳ නිසි අධීක්ෂණයක් කිරීමට මෙරට තිබෙන නීති රීති ඉතාම දුර්වල බවද ඔහු පෙන්වා දුන්නේය.

වසරකට වරක් විගණන වාර්තාවක් මහ ලේකම් කාර්යාලයට එවූවද ඒවා නිවැරැදි හෝ අදාළ කාර්යයක් සිදු කර ඇත්දැයි සොයා බැලීමට හැකියාව අවම මට්ටමක පවතින බවද ඔහු කීවේය.

තමන්ට වාර්තා වී ඇති පරිදි ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන පවා ව්‍යාපෘතිවලට ලැබෙන මුදලින් වැය කරන්නේ 20%ක පමණ මුදලක් බවත් ඉතිරි 80% මුදල් ඔවුන්ගේ කටයුතු සඳහා යොදා ගෙන ඇති බවට පෙනී යන්නේ යැයිද ඔහු පෙන්වා දුන්නේය.

රාජ්‍ය නොවන සංවිධාන මගින් මෙරට සංවර්ධනයට දායකත්වයක් ලබාදෙන නමුත් ඇතැම් සංවිධාන හරහා ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වන අතර අන්තවාදී අදහස් පැතිරවීම වැනි කටයුතු සම්බන්ධව විධිමත් නියනමයක් සහිත පනතක් ඉදිරියේදී ගෙන ඒමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ සම්බන්ධව රාජ්‍ය නොවන සංවිධානවල පවා අදහස් ලබා ගනිමින් පවතින බවත් මේ වන විට විශේෂ සාකච්ඡා දෙකක්ද පවත්වා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස