ජනවරමක් නැතිව සක්විති රජකමවත් එපා…! – සජිත්…

September 18, 2023 at 12:19 pm | by emanisa.lk

සක්විති රජකම දෙනවා කිව්වක් ජනවරමකින් තොරව තනතුරු බාර ගන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ප්‍රතිපත්ති කඩකර රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති හා අගමැතිකම් ලබාගැනීමට තමා සූදානම් නොමැති බවත් පොහොට්ටුවේ 134කගේ සීමා සහිත වරමක් ගෙන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා ⁣පොහොට්ටු හොර කණ්ඩායමේ ආරක්ෂකයා බවට පත්ව සිටින බවත් හෙතෙම කීය.

ජනාධිපතිවරයා මේ වන විට පාස්කු ප්‍රහාරයේ සත්‍ය පවා සඟවමින් සිටින බවත් රටේ විපක්ෂ නායකවරයාට පවා කොමිෂන් සභා වාරතා⁣වේ පිටපත් ලබා ගත නොහැකි ලෙස සඟවා ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙසේ ඇත්ත සැඟවීම තුළ ජාතික ආරක්ෂාව අනතුරට පත්වන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වැඩිදුරටත් කියා සිටියේ සක්විති රජකම ලබා දෙන බව පැවසුවත් ජන වරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැතිකම හෝ මැති ඇමතිකම් හෝ රාජ්‍ය බලයක් ලබා ගැනීමට තමා සූදානම් නැති බවයි.

එසේම ආගමික ස්ථාන තුළින් නිකුත් කරන දහම් පණිවිඩය මත ඒකීය ශ්‍රී ලංකාව රැකි ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන නමුත් පසුගිය කාලයේ වඳ සැත්කම් වඳ කොත්තු කියා පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාති ආගම් අතර බෙදීමක් ඇති කළ බවත් හෙතෙම කීය.

අරගලයට පෙර සංහිඳියාව යනු පරුෂ වචනයක් බවත් දේශාභිමානයේ නාමයෙන් එයට පහර පිට පහර එල්ල කළත් රට වහල්භාවයෙන් තබා රටේ සම්පත් සොරා කමින් සිටි පවුල සහ ජනාධිපති එලවීමට ජනතාව එකාමෙන් පාරට බැස සිදු කළ අරගලයෙන් පසු සංහිඳියාව යන වචනය වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බවත් සජිත් ප්‍රේමදාස පැවසීය.

බුදුරජානන් වහන්සේ පවා දූෂණය වංචාව ප්‍රතික්ෂේප කළ නමුත් රටේ ජනතාව වහලු‍න් බවට සිහින මවන මහා පවුල් දේශාභිමානයෙන් බුද්ධාගමත් පෙරටු කරගෙන ජනතාව රවටමින් රට බේරගන්නා නාමයෙන් පෙරට පැමිණ අවසානයේ රටේ සම්පත් හා මුදල් හොරකම් කරමින් ගිය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියෙ 15දා සදහම් යාත්‍රා වැඩසටහනේ 1500 වැනි වැඩසටහන කෑගල්ල ගලිගමුව වට්ටාරම රජමහා විහාරයේ දී පැවැති අවස්ථාවේ දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *