ඕනෑම ඡන්දයක් නියමිත දිනට නොතැබීම හෝ කල්දැමීම මහා අපරාධයක් මෙන්ම වරදක් යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති හා සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
“කවුරු හරි කියනවා නම් මැතිවරණ කොමිසමේ ක්‍රියාමාර්ග වැරදි කියලා, මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මැතිවරණ කොමිසම තම සීමාව තුළ නිවැරදිව කටයුතු කරනවා කියන ඒකයි, මගේ මතය.
එක් ඡන්දයක් මුදල් නැහැ කියලා කල්දැමීමෙන් සිදුවන්නේ ඕනෑම මැතිවරණයක් මුදල් නැහැ කියා කල්දැමීමට පුළුවන් වෙන එකයි. එය බරපතළ තත්ත්වයක්. මගේ මතය නම් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා තිබෙන පරිදි මාර්තු 9 වැනිදාට ඡන්දය පැවැත්වීමට උපරිම වෙර දැරිය යුතුයි කියන එකයි.
රජයේ මුද්‍රණාලයේ වියදම මැතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 400-500ක් පමණ වෙනවා. ඒකෙන් මිලියන 100-150ක් විතර අත්තිකාරමක් ලෙස ගෙවලා තිබෙනවා. ඡන්දය වෙනුවෙන් බිලියන 8 ක් වියදම් වුණාට ඒ ඔක්කොම එකපාර ඕනෑවෙන්නේ නැහැ. ඡන්දයට කලින් ඕනෑ වෙන්නේ බිලියන 2-3ක් පමණයි. ඒ ප්‍රමාණය ටිකෙන් ටික දෙන්න පුළුවන්. සමහරු අහනවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වෙන නිසා ඡන්දය කල්යයි ද කියලා. ඡන්ද පත්‍රිකා මුද්‍රණය ටිකෙන් ටික අවසන් කෙරිලා පෙබරවාරි 19 වැනිදා වෙනකොටවත් අවසන් වුණොත් මාර්තු 09 වැනිදා ඡන්දය තියන්න පුළුවන්.
ඡන්ද විමසීමට පෙර බිලියන 03ක්වත් ලැබුණොත් ඡන්දය තියාගන්න පුළුවන් වෙයි. එහෙම නැතිවුණොත් මැතිවරණ කොමිසන් සභාවට සිද්ධ වෙයි පනතේ විධිවිධාන යටතේ 38/3 වගන්තිය යටතේ යම් නිශ්චිත සුළු කාලයකට ඡන්දය කල්තියන්න.
මේ වගේ තත්ත්වයකට මම කොමිෂන් සභාවේ හිටියා නම් මුහුණ දෙන්නේ කොහොමද කියන එක කියන්න පුළුවන් මම කොමිෂන් සභාවේ වාඩිවෙලා හිටියනම් තමයි. මැච් එක ගහන කෙනාට තමයි කියන්න පුළුවන් කොහොමද සෙල්ලම් කරන්නේ කියලා. කලින් අවුට් වෙලා ආපු කෙනාට කියන්න බැහැ. ඒ බෝලෙට එහෙම ගහන් පුළුවන් මෙහෙම ගහන්න පුළුවන් කියලා.”