ගෝඨා මුස්ලිම් ඇමතිලා නැති කැබිනට්ටුවක් හැදීම වරදක්! ඒ නිසා මුස්ලිම් ඡන්ද රාජපක්ෂලට දෙන්න එපා! – බාකිර් මාකර්

July 27, 2020 at 10:05 am | by emanisa.lk

නිදහස් ලංකාවේ මුස්ලිම් ඇමැතිවරයකු නොමැති පළමු කැබිනට් මණ්ඩලය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ රජයට සමඟි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉමිටියාස් බාකිර් මාකර් පවසයි.

ඔහු මේ බව පැවැසුවේ ගලේවෙල, නබඩගහවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

නිදහස් ලංකාවේ මුස්ලිම් ඇමැතිවරයකු නොමැති පළමු කැබිනට් මණ්ඩලය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂටයි. මේ ආකාරයෙන් අපට රටක් වශයෙන් ඉදිරියට යෑමට හැකි වේද යන්න මහත් ගැටලුවක්. මේ තත්ත්වය යටතේ රාජපක්ෂවරුන්ට මුස්ලිම් ජනතාව ඉදිරියට ගොස් ඡන්දය ඉල්ලීමට කිසිදු අයිතියක් නෑ.

මෙවර පැවැත්වෙන මැතිවරණය තීරණාත්මකයි. මේ ගැන අප හොඳින් අවබෝධ කර ගත යුතුයි. මේ රටට නිදහස ලබාගන්නා මොහොතේ ඩී. එස්. සේනානායක කිව්වේ ජාතීන් වශයෙන් බෙදී නොසිට එක් වෙයල්ලා කියලයි. ඔහු දුරදක්නා නුවණින් යුතු පුද්ගලයෙක්. අපට එසේ එක් ජාතියක් වශයෙන් එක්වීමට නොහැකි වු නිසා 1956න් පසුව නොයෙකුත් ගැටුම් ජාතීන් අතර ඇති වුණා. එය ජාතියක් වශයෙන් අපේ පිරිහීමට ප්‍රධානතම හේතුවක් බවට ද පත් වුණා.

අපේ රටට නිදහස ලබාගන්නා විට අප ආර්ථික වශයෙන් දෙවෙනි වුයේ ජපානයට පමණයි. පසු කාලයේ සිංගප්පුරුවේ රාජ්‍ය නායකයා වු ලී ක්වාන් යුං කිව්වේ සිංගප්පුරුව ලංකාවක් කරන බවයි. නමුත් අද සිදු වී ඇත්තේ කුමක්ද? ශ්‍රී ලංකාව නිදහස ලබා ගත් පසු 1956 වන තෙක් කිසිදු රටකට අපේ රට ණය වුණේ නෑ. අප විදේශ රටවලට ණයකරුවන් වූයේ 1956න් පසුවයි.

පසුව විවිධ හේතු නිසා මේ රටේ නොයෙකුත් අවස්ථාවලදී ගැටුම් ඇති වුණා. ජාති, ආගම් වශයෙන් අප භේදභින්නවී ගැටුම් ඇති කරගැනීම නිසා ආර්ථිකය කඩා වැටුණා. මෙවැනි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කළේ කාගේ වුවමනාවටද? දේශපාලකයන්ගේ පටු ආකල්ප මුදුන් පත් කරගැනීමට මෙවැනි තත්ත්වයන් රටේ වරින් වර ඇතිවීම අවාසනාවක්. මේ බව ජනතාව හොඳ හැටි අවබෝධ කර ගත යුතුයි.

නිදහස ලබා වසර හැත්තෑවක් ගතවීමෙන් පසු සිංහළ, දෙමළ භාෂාවන්ගෙන් ජාතික ගීය ගායනා කළා. එතකොට සිද්ධ වෙන්න තිබු දෙය සිදුවී අවසානයි. සියලු සම්පත්වලින් යුක්ත අපේ රට දියුණු කිරීමට අවශ්‍ය වන්නේ නිසි කළමනාකරණයක්. එසේ නොමැතිව අපට දියුණුවන්න බෑ. අප රටේ සියලු ජාතීන් සියලු වාද භේද අතහැර එකම පවුලේ පිරිසක් ලෙස නැඟී සිටින තාක් රටක් වශයෙන් ඉදිරියට යෑම අපහසුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස