ගෝඨාභයට සිරිසේනට වගේ දේශපාලනය තේරෙන්නේ නෑ…!

November 4, 2021 at 8:37 am | by emanisa.lk

1. බලයට පත් වුන ගමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය 2400 සිට 300 ට අඩු කළා. දේශපාලනය තේරෙන හිටපු ජනාධිපති සිරිසේන 2400 ක් තමන් ළග තියා ගත්තේ ඒ හරහා දේශපාලනය කරන්න. හැම ආසනයකම තමන්ගෙ හිතවතුන් දෙතුන් දෙනෙක් තමන්ගෙ වැඩපිළිවෙළ, නම ඉහළට එසවීමයි එහි අරමුණ. ඒ නියෝජිතයන්ට මාසික වැටුපක්, වාහනයක් දුන්නෙ ඒකට.
ගෝඨාභයට ඒ දේශපාලනය නොතේරෙන බව පැහැදිලියි. ඒකනෙ 2400 ක පිරිස 300ට අඩු කළේ.

2. වෙනද ජනාධිපති පාරෙ යන විට වාහන 10ක් වත් යනව. පාරවල් වහනව. හැබැයි ගෝඨාභය ඒක වාහන තුනකට සීමා කළා, පාරවල් වැසීම නතර කළා. ජනතාව සමග, වාහන තදබදයට මුහුණ දීල එකට ගමන් කළා. ජනාධිපති ගෝඨාභය මෙහෙම කළේ රජයේ වියදම් අඩු කරන්න. තමන් සරළ මනුස්සයෙක් කියල ජනතාවට තේරැමි ගන්නන්න. හැබැයි ලංකාව වගේ තුන්වන ලොව රටවල ජනතාව ඒ වටිනාකම තේරැමි ගත් බවක් පේන්න නැහැ. ඒ වෙනුවට අනිත් බල සම්පන්න මැති ඇමැතිවරැන් නම් ඉන්නෙ නොසතුටෙන් බව පේනව. ” එයා වරප්‍රසාද ගන්නෙත් නැහැ, අපිට ගන්න දෙන්නෙත් නැහැ ” කියල තමයි අනිවාර්යයෙන් කියනව ඇත්තෙ.

3. හිටපු ජනාධිපති සිරිසේන පැජට් පාරෙ ඇමැති නිළ නිවාස දෙකක් එකතු කරල හදපු ජනාධිපති මන්දිරයේ සිට රාජකාරි කරල , පසුව විශ්‍රාම යන්න කලින් කැබිනට් අනුමැතිය අරන් එය විශ්රාමික ජනාධිපති නිළ නිවසට හරව ගෙන අද එහි පදිංචි වෙලා ඒකෙ ඉඳන් අද දේශපාලනය කරනව. ඒක කෝටි 800 ක් වටිනා පිහිනුම් තටාකයක් පවා තිබෙන මහා මන්දිරයක්.
හැබැයි ගෝඨාභය එහෙම එකක් නොහදා තමන් හිටපු මිරිහානෙ ගෙදර සිට රාජකාරියට එනව ජනාධිපති ලේකම් කාර්යාලයට. මම ඒ නිවසට ගිහින් තියෙනව. සාමාන්‍ය ගෙයක් , මන්දිරයක් නෙවෙයි. සාමාන්‍ය ගෙදරක ඉන්න ජනාධිපතිවරයා ලංකාවෙ ජනතාව අගය කරනවද? මට නම් එහෙම පේන්නෙ නැහැ .

4. ජනාධිපති ගෝඨාභය තමන්ගෙ පුතාව ලංකාවට ගෙන්වලා රජයේ ප්‍රධාන තණතුරක් දීල මිලියන ගණනක වැටුපක් හදල නොදුන්නෙ ඇයි කියල දෙයියො තමයි දන්නෙ? තමන්ගෙන් පසුව රටේ දේශපාලනය කරන්න ඒ පුතාව හුරු නොකරන්නේ ඇයි ? හිටපු ජනාධිපති සිරිසේනගෙ පුතා දැන් පොලොන්නරුවේ වැඩ පටන් අරන්. ඔහු ගිය රජයෙ ලොකු තණතුරකුත් දැරුව. එතනදි නම් හොඳටම පැහැදිලියි ගෝඨාභයට දේශපාලනය තේරෙන්නෙ නැහැ කියල.

5. බලයට පත් වෙලා වසර දෙකයි. හැබැයි ජනාධිපති ගෝඨාභය තවමත් රටවල් පහ හයකටවත් සංචාරය කළේ නැහැ . ගිය රටවල් දෙක තුනටත් එක්කන් ගියේ තුන් හතර දෙනයි. වෙන ජනාධිපතිවරු ඔහොම ගමන් යන්නෙ ගුවන් යානයක් පුරවගෙන කටිටිය අරගෙන. ඇමරිකාවට ජනාධිපතිතුමා සමග ගිය ඔහුගෙ බිරිඳ ගියෙ පෞද්ගලික වියදමෙන් .
දේශපාලනය නොතේරෙන කමම තමයි. ඔය ගමන හරහා සීයක් දෙසීයක් අරන් ගියා නම් උන් ලංකාවට ඇවිත් ජනාධිපතිතුමාට බඩ බැඳගෙන වැඩ කරනව, ආරක්ෂා කරනව. කොහෙද?

6. ජනාධිපති තුමා නිතරම අඳින්නෙ අත් කොට කමිසය හෝ ටී ෂර්ටය. ජාතික ඇඳුම හෝ කපටි සූට් එක ඇඳල පවුලෙ දේශපාලන සන්නාමය වන කුරහන් සාටකය දාගෙන, කොන්ඩය කලු කරල ගියා නම් මහින්ද පරාදයි.
පෙනුමටම දෙතුන් දෙනෙක් ගී ගයනව සත්තයි. හැබැයි ගෝඨාභය ජනාධිපති එහෙම කරන්නෙ නැහැ . දේශපාලනය තේරෙන්නෙ නැහැ .

7. “රසායනික පොහොර නිසා පස දූෂණය වෙලා, කාබනික පොහොර වලට අපි යා යුතුයි.” කියල ජවිපෙ නායක අනුර කුමාර 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශණයට බය නැතුව එකතු ක⁣ළේ මිනිහ දන්නවා දිනන්නෙ නැහැ කියල. හැබැයි දිනන බව දන්නා ගෝඨාභය ඒක පොරොන්දු වුණා පමණක් නෙවෙයි අද එය ක්රියාත්මක කරල. හැබැයි බැනුම් කෝටියයි. ලංකාවෙ ගොවීන් හරිම කැමතියි රසායනික පොහොර යොදල වැඩිපුර අස්වැන්න ලබන ගමන් මහරගම පිළිකා රෝහලට, වකුගඩු සායනවලටත් යන්න එන්න. ඒ නිසා තමයි රසායනික පොහොර නොනවත්වා ආනයනය කරන ගමන් ජනාධිපති සිරිසේන පොලොන්නරුවට ආසියාවෙ ලොකුම වකුගඩු රෝහල හදල දුන්නෙ. හැබැයි දේශපාලනය නොතේරෙන ගෝඨාභය ගොවීන්ව ලෙඩ රෝගවලින් බේරල වස විස නැති ආහාර දෙන්න සැළසුම් ක්රියාත්මක කරල අද අමු බැනුම් අහනව.

8. දූෂණය, හොරකමට විරැද්ධ අදහස් තිබුණට කමක් නැහැ , හැබැයි ලංකාවෙ පොලොවෙ ඒව පැල කරන්න අසීරු බව ජනාධිපති ගෝඨාභය වටහා ගත්තෙ නැහැ . ඒ නිසා තමයි අමාත්‍යාංශ ලේකම්, සංස්ථා මණ්ඩල සභාපති තණතුරුවලට හමුදා නිළධාරින් සහ වියතුන් පත් කරල ඒ අදහස ඔහු ක්රියාත්මක කළේ. අද වෙන විට ඉන් කිහිප දෙනෙකුම තණතුරුවලින් ඉල්ලා අස් වෙලා. හොඳ හොරු ටිකක් ඒවාට පත් වෙලා. ඒකෙන් වුනේ ඇමැතිවරුත්, හිටපු නිළධාරින් යන දෙගොල්ලම ජනාධිපති තුමා සමග තරහ වීම. එතුමා දන්නා දේශපාලනය? ඇමැතිවරුන්ට හොරා කන්න නොදී ලංකාවෙ දේශපාලනය කරන්න පුළුවන් ද?

9. ජනාධිපති ගෝඨාභය කළ ලොකුම වැරැද්ද තමයි 225 ට හා රාජ්‍ය නිළධාරින්ට වසර පහෙන් පහට ලබා දෙන තීරු බදු රහිත වාහන බලපත්‍රවලින් වාහන ආනයනයට ඉඩ නොදීම. මේ නිසා පක්ෂ විපක්ෂ දේශපාලකයන් වගේම බහුතර රාජ්‍ය නිළධාරින්ට එතුමාව නයාට අඳු කොල වගේ. එතුමා දන්නා දේශපාලනයක තරම?

10. අනිත් ජනාධිපතිවරු වගේ නෙවෙයි ජනාධිපති ගෝඨාභය ඇමැතිවරු ඉල්ලන ලොකු ව්‍යාපෘති අනුමත කරන්නෙ නැහැ . මේ නිසා රැපියල් මිලියන නෙවෙයි බිලියන ගණනින් ඇමැතිවරුන්ට අලාභයි. 10%_20%ක් වත් වෙනද ගහපු මාටියා පාරට බඩේ පාර වැදිලා. ඉතින් ජනාධිපති තුමාට ලංකාවෙ දේශපාලනය තේරෙන්නෙ නැහැ කියන එක ඇත්ත .

මේක තමයි “ප්‍රාදේශීය සභාවකවත් හිටියෙ නැති ගෝඨාභයට දේශපාලනය තේරෙන්නෙ නැහැ , එයා කොහොමද ජනාධිපති වෙලා වැඩ කරන්නෙ “කියල එදා වෙල්ගම ඇහුවෙ. ලංකාවෙ දේශපාලන ජාතික ගීය ගෝඨාභය දෙතුන් පාරක්වත් නැවත අහන්න වෙනව. ඊට අනුව භාණ්ඩාගාරයෙ මුදල් නැති නම් රටම උගසට තියල ණය ගෙනැල්ල හරි කට්ටියගෙ බඩ කට පුරවන්න වෙනව.

එහෙම නැතුව ජනාධිපති ගෝඨාභයට ලංකාවෙ දේශපාලන අනාගතයක් නැහැ . ඔබ අසාවි මොකක්ද ඒ දේශපාලන ජාතික ගීය කියල. ” කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට, මොන කෙංගෙඩියද තව ඕන කරන්නේ? “

* දැකපු කෙනෙක් මේක #GotabayaRajapaksha ජනාධිපති තුමාට පෙන්නන්න . ඔන්න අමතක කරන්න එපා.

– මේජර් අජිත් ප්‍රසන්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස