ගුරු බිල්ලක් දීලා හරි අපේ පඩි වැඩිකරන තුරු අරගල කරනවා….! – ලංකා ගුරු සංගම් ලේකම්….

August 1, 2021 at 4:39 pm | by emanisa.lk

ගුරු බිල්ලක් හෝ ලබා දී ජීවිත පරිත්‍යාගයෙන්, ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩ අරගලයක යෙදෙන බව නුවරඑළිය ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් අද (01) නුවරඑළියේදී පවසයි.

විදුහල්පති හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයට වහා විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා පවත්වන උද්ඝෝෂණ මාලාවට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් රැළිය අද (01) දා පෙරවරුවේ නුවරඑළිය නගරයේදී විශාල පිරිසකගේ සහභාගීත්නවයෙන් පැවැත්විණි.

නුවරඑළිය දිස්ත්‍රික් විදුහල්පති හා ගුරු සංගම් ඒකාබද්ධ වෘත්තීය සමිතිය මගින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණ පෙළපාලියට පැමිණි පිරිස අද පෙ.ව. 10.15 ට පමණ විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් නුවරඑළිය ගාමිණී මැදි විදුහල අසලින් ආරම්භ කර නුවරඑළිය නගරයට පැමිණ වීදි හරහා ගමන් කළහ.

අනතුරුව තැපැල් කාර්යාලය අසලට රැස්වී ගුරු වෘත්තීය සමිති නායකයින් විසින් පැමිණ සිටි පිරිස අමතනු ලැබූහ.

එහිදී අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් මංජුල සුරවීරආරච්චි කියා සිටියේ වසර 24 ක් තිස්සේ පවතින විදුහල්පති -ගුරු ගැටලුවට පත්වූ සියලු ම රජයන් විසඳුම් ලබා නොදීම නිසා මේ දක්වා ගැටලු උද්ගතව ඇති බවත්, වත්මන් ආණ්ඩුව සමස්ත ගුරු පරපුර අපහාසයට ලක් කරමින් රටේ අධ්‍යාපනය හදාරන දරු දැරියන්ගේ අධ්‍යාපනය වළ පල්ලට දමමින් රටම ආගාධයට දමා ඇති බවය.

රටේ සියලු විදුහල්පති හා ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධව ආරම්භ කර ඇති මෙම විරෝධතාවය ඉල්ලීම් ලැබෙන තෙක් ගුරු බිල්ලක් හෝ ලබා දී අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ඒ බව ඔහු වැඩි දුරටත් පැවසීය. මෙම උද්ඝෝෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් විදුහල්පති- ගුරු වෘත්තීය සමිති නියෝජනය කරමින් සිංහල දෙමළ නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස