විපක්ෂය උද්ඝෝෂණ කරමින් රටපුරා කොවිඩ් පොකුරු නිර්මාණය කරනවා….! – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

July 26, 2021 at 9:18 am | by emanisa.lk

විපක්ෂය රට පුරා කොවිඩ් පොකුරු නිර්මාණය කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

රාජ්‍ය අමාත්‍ය ලාන්සා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.

“ලංකාව පමණක් නොව ලෝකයම දරුණු කොවිඩ් වසංගතයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක රටේ මහජනතාව ආරක්ෂා කිරීමේ වගකීමට දායකත්වයක් දැක්වීම හෝ ඒ සදහා ආදර්ශයක් වීමට විපක්ෂය කටයුතු කරන්නේ නැහැ. ඔවුන් අවම සෞඛ්‍ය උපදෙස්වත් අනුගමනය කරන්නේ නැතිව විරෝධතා දක්වමින් රට පුරා කොවිඩ් පොකුරු නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. අවම වගකීමවත් ඔවුන් ඉටුකරන්නෙ නැහැ. මේ මැතිවරණයක් පවතින අවස්ථාවක් නෙමේ. මේ අවස්ථාව දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන අවස්ථාවකුත් නෙමේ.

අද දකුණු ආසියාවේ හොඳ ම හා වේගවත්ම එන්නත්කරණ වැඩපිළිවෙළ අපේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එන්න්තකරණය සිදු කළ යුතු වයස් සීමාවේ සිටින සියලු දෙනාට එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ජනතාවත් එන්නත ලබා ගැනීම සදහා උනන්දුවක් දක්වනවා. සෑම කේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි එන්නත්කරණය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමෙන් පසු රට විවෘත කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. රටේ ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීමට සංචාරක කර්මාන්තයට රට විවෘත කළ යුතු වගේම ආයෝජන අවස්ථාවන් සදහා අවස්ථාව සලසා දිය යුතුයි.

රටේ ගෞරවණීය හා සමාජ වටිනාකමක් ඉටු කරන ගුරු වෘත්තීන්ගේ ගැටළු නිරාකරණය කළ යුතුයි. ඒ සඳහා වත්මන් රජය ඇහුම්කන් දෙනවා. මේ තුළ විපක්ෂයේ ඇතැම් පිරිස් දේශපාලනය කිරීමට උත්සහ කිරීම වැරදියි. ඉන් බලපෑමට ලක්වන්නේ අපේ අනාගත දරු පරපුරයි. ඒනිසා මේ පිළිබදව හා රටේ පවතින තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න කියලා ගුරු සංගම් වලින් ඉල්ලා සිටිනවා.

විපක්ෂය උදය ගම්මන්පිළ මහතාට විශ්වාසභංගයක් ගෙන ඒමෙන් සිදුකළේ ආණ්ඩුව තවත් ශක්තිමත් කිරීමයි. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ අතර යම් යම් කාරණා සම්බන්ධයෙන් මතවාද ගොඩනැගී තිබුණත් එය වෙන්වී ඉවත් වී යාමට හේතුවක් නෙමේ. විපක්ෂය එය දඩමීමා කරගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහ කළා. විශ්වාස භංගයෙන් සිදුවුණේ විපක්ෂයේ කණ්ඩායම් තවත් බේදීමකට ලක්වීම බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *