රාජ්‍ය සේවක පඩි ගෙවන්න විදෙස් ණය ගන්න සිදුවෙයි…? ගුරුවරු ඉල්ලන වැටුප දෙන්න රු. කෝටි 6780ක් ඕන…! සෙසු රාජ්‍ය සේවා සඳහා රු. කෝටි 980ක් ඕන…!

July 29, 2021 at 8:38 am | by emanisa.lk

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දිගින් දිගටම ඉල්ලා සිටින පරිදි සුබෝධා වාර්තාවට අනුව වැටුප් වැඩි කිරීමට ඒ වෙනුවෙන් අලුතින් රුපියල් බිලියන 67. 8ක් වැය කිරීමට ආණ්ඩුවට සිදු වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

ගුරු, විදුහල්පති වැටුප් විෂමතා විසඳීමේදී අනෙකුත් රාජ්‍ය සේවක වැටුප් ප්‍රශ්න ඇති විය හැකි බවත් මේ සංගම් සියයට හතක වැටුප් ඉහළ දැමීමට එකඟ වුවත් ඒ සඳහා ද රුපියල් බිලියන 9. 8ක අමතර මුදලක් වැය වන බව ලේකම්වරයා සඳහන් කළේය.

රජයේ ගුරුවරුන් දෙලක්ෂ හතළිස් හත්දහසක් පමණ මෙරට පාසල්වල ඉගැන්වීම්වල නිරතව සිටින අතර, විදුහල්පතිවරු පහළොස් දහසක් පමණ සිටිති. ගුරු සංගම්වල ඉල්ලීමට අනුව සියයට පහළොවකින් වැටුප් වැඩි කළහොත් ඒ ඒ වැටුප් තල මත ඇතැමුන්ගේ වැටුප රුපියල් දසදහසකින්, රුපියල් අටදහස් හත්සියය ආදි වශයෙන් ඉහළ යන බවට ගණන් බලා තිබේ.

මේ අතර ඇමැති බන්දුල ගුණවර්ධන කියා සිටින්නේ මෙරට රජයේ සමස්ත ආදායමෙන් සියයට අසූහයක්ම රජයේ සේවකයන්ගේ වැටුප් සඳහා වැය කිරීමට සිදුව ඇති බවයි. 2020 වසරේ මෙරට සමස්ත ආදායම රුපියල් බිලියන 1,216ක් වූ අතර, ඉන් රුපියල් බිලියන 1,052ක්ම වැටුප් හා වේතන සඳහා වැය කර ඇති බවයි. ඒ අනුව ඉතිරි රුපියල් බිලියන 164 මඟින් අනෙක් සියලු කටයුතු කිරීමට සිදු වන බවත් ඒ සඳහා දිගින් දිගටම දේශීය විදේශීය ණය ගැනීමට සිදුවී ඇතැයිද ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස