කොළඹ ලස්සන කළේ මංගලයි-ලෝක බැංකුවයි….! කොළඹ තිරිහන් කළේ යහපාලන ආණ්ඩුවයි…! ගෝඨා කළ කෙංගෙඩියක් නෑ….! – පාඨලී…

March 21, 2021 at 11:25 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ කොළඹ ලස්සන කළා යැයි කීම අර්ධ සත්‍යයක් බව පාර්ලිමේන්තු පාඨලී චම්පික රණවක පවසයි.

“ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ ලස්සන කළා යැයි ද, පරිසරය රැක්කා යැයි ද කීම අර්ධ සත්‍යයකි. නිදහස් චතුරස්‍ර අලංකරණය හා බේරේ වැව අලංකරණය ආරම්භ කළේ මංගල සමරවීරය. එයට බලගතු මැදිහත්වීමක් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ යොදවා කළ බව සත්‍යයකි. එමෙන්ම එය කොළඹ නගරය සඳහා වූ ලෝක බැංකු ව්‍යාපෘතියක් බවද අමතක නොකළ යුතුය. එය සැලසුම් කළේත්, අරමුදල් සැපවූයේත්, නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කළේත් ලෝක බැංකුවයි.

කොළඹ යනු පැරණි නගරයකි. එහි අප ජලය බැසයන උමං පද්ධතිය වසර 150 ක් පැරණිය. මල අපවහන පද්ධතිය, ජල සැපයුම් පද්ධතිය ඒ ලෙසම පැරණිය. කොළඹ පිරිසිදු කර, කුණු මීතොටමුල්ලට ගොඩගසා රැකගත හැකි පරිසරයක් නැත. කොළඹ ලස්සනකරණයෙන් සිදුවූයේ වියපත් ගැහැණියකට මේකප් දැමීම වැනි තාවකාලික ලස්සනක් මවා පෑමකි.

කොළඹ කසල කළමනාකරණයට විද්‍යාත්මක කසළ රඳවනයක් තැනුවේත්, කොළඹ මල අපවහන පද්ධතිය, වැසි අපජල පද්ධතිය හා ජල සැපයුම් පද්ධතිය වැනි පොළොව යට සිදුකළ අමාරු සංවර්ධනයන්, පුරාජේරු කතාවලින් තොරව ලෝක බැංකුවේ හා වෙනත් විදේශාධාර වලින්ද, දේශීය අරමුදල් වලින් ද ක්‍රියාත්මක කළේ, 2015-19 යහපාලන ආණ්ඩුවයි. කොළඹ තිරිහන් වූයේ එමඟිනි. දැන් මහින්ද රාජපක්ෂ මහතා එක පෙළට විවෘත කරන්නේ එදා ඒ අසීරු සංවර්ධන කටයුතුවල ප්‍රතිඵලය. රට පුරා හමුදාව යොදවා ඇවිදින මංතීරු අඩියෙන් අඩියට හැදීම පරිසර ආරක්ෂණයක් නොවේ.

රාජපක්ෂලාට පරිසරය සුරැකීමේ චින්තනයක් නැත. ඔවුන් දන්න එකම චින්තනය ජාතික ධනය සූරා කෑම හා එයට එරෙහි වන්නන් ලසන්ත වික්‍රමතුංග යැවූ මාර්ගයේ යැවීම පමණි. ලංකාවේ අද සිදුවන ආර්ථික, සමාජීය පරිසර විනාශයට ගෝඨාභය, මහින්ද, බැසිල් ත්‍රිත්වය පමණක් නොව ඔවුනට පුටින්, ලී ක්වාන් යූ, ශ්‍රී නේරු සළුපිළි ඇන්ඳවූ සියළු දෙනාද වගකිව යුතුය. ඇත්තටම ‘ෆේල්’ වී ඇත්තේ ‘සර්’ නොවේ. රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ ය. ඇත්තටම ‘ෆේල්’ වී ඇත්තේ මාධ්‍ය කූඨ නාටකයට හසුවූ 69 ලක්ෂය ය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස