කොළඹ නැ. ජැටිය කිසිවෙකුට දෙන්නේ නෑ…! ජැටිය 100%ක් වරාය අධිකාරියට පවරන ගැසට්ටුව අද හවස…! – අගමැති මහින්ද…..

February 1, 2021 at 2:53 pm | by emanisa.lk

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය දේශීය සම්පත් විකුණා දැමීම නොවන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීමක් හෝ පාලනයට භාර දීමක් සිදු නොවන බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වා ගෙන යන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව හා අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවක දී ය.

විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවට අදානි සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100% වරාය ආධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේ ය.

එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමෙ වෘත්තීය සමිති එකමුතුව එකඟ විය. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහි දී එකඟ විය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, වරාය හා නාවුක අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, අග්‍රාමාත්‍ය තුමාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ හා වරාය වෘත්තීය සමිති 23 නියෝජනය කරමින් වෘත්තීය සමිති නායක පිරිසක් එක්ව සිටියහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස