කුඩුකාරයන් පුනරුත්ථාපනය කරන බව කී පාස්ටර් මහ පරිමාණ කුඩු ජාවාරමක!

September 3, 2020 at 6:57 am | by emanisa.lk

හෙරොයින් (මත්ද්‍රව්‍ය) භාවිතයට යොමුවූ තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය පාස්ටර්වරයකු ජාවාරම් කිරීමට සන්තකයේ තබාගෙන සිටි රුපියල් ලක්‍ෂ 30 ක් පමණ වටිනා හෙරොයින් ග‍්‍රෑම් 300 ක් සමග මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළ පාස්ටර්වරයා විසින් මත්ද්‍රව්‍ය විරෝධී විශාල සටනක් ගෙන ගිය අතර කොච්චිකඬේ දළුවාකොටුව ගම්වාසීහුද එක්වී ඊට සහාය පළ කළහ. මේ අතර මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු තුර රත්නායක සහ අශේන් චාමිකර වෙත පාස්ටර්වරයා විසින් ඉතා රහසිගතව මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ගන්නා බවට දැනගන්නට ලැබී ඇත.

එම තොරතුරු අනුව මීගමුව දිසා අපරාධ කොට්ඨාසය මගින් ඔහු වෙසෙන නිවස සහ දේශන ශාලාව වටලා ඇත. මෙම පොලිස් වැටලීමත් සමග දළුවකොටුව ගම්මානයේ ප‍්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව පොලිසිය පාස්ටර්වරයා අත්අඩංගුවට ගැනීම වළකා ඇත. එහෙත් පාස්ටර්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව හෙළිවීම හේතුවෙන් පසුව ප‍්‍රදේශවාසීන් නිහඬ වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණයවී ඇත්තේ හෙතෙම හෙරොයින් ජාවාරම් සිදුකරන්නේ මහා පරිමාණයෙන් පමණක් බවයි. පාස්ටර්වරයා විසින් මෙහෙයවන කුඩු ජාවාරමට සම්බන්ධ තවත් ප‍්‍රධාන පෙළේ සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අරඹා තිබේ.

අත්අඩංගුව ගත් දළුවකොටුව පාතිමා වත්තේ දෙවන පටුමග අංක 272 හි පදිංචි තිදරු පියකු වන 42 හැවිරිදි කේ. සුරේන්ද්‍ර කමල් සිල්වා නමැති පාස්ටර්වරයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දුන් ප‍්‍රධාන සැකකරුවන් පිළිබඳව විමර්ශන කිරීම සඳහා ඔහු රැඳවුම් නියෝග මත රඳවා වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට මීගමුව අපරාධ කොට්ඨාසය විසින් මීගමුව අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස