කිතුල් ආශ්‍රිත කර්මාන්ත සඳහා නම රාජ්‍ය ආයතනයක්! – දේශීය කර්මාන්ත නංවන්න ජනපතිගෙන් තවත් විශිෂ්ට තීන්දුවක්…

August 26, 2020 at 9:54 am | by emanisa.lk

කිතුල් ආශ‍්‍රිත කර්මාන්තය සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා එම කරුණු පෙන්වා දී ඇත්තේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන හා ආශ‍්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදීය. 

කිතුල් සහ තල් ප‍්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප‍්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. කිතුල් සහ තල් වගා ප‍්‍රවර්ධනයටත් ඒ ආශ‍්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන කි‍්‍රයාවලිය දිරි ගැන්වීම සහ කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇත.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන හා ආශ‍්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එම අමාත්‍යාංශය මගින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී‎ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වාර්ෂික දේශීය පොල් නිෂ්පාදනය බිලියන 03 ක් වන අතර ඉන් බිලියන 1.8 ක් පරිභෝජනයට ගැනෙන බැවින් වැඩි අපනයනයක් සඳහා වගාව ප‍්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස