කාති උසාවි මුස්ලිම් විවාහ දික්කසාද බහු විවාහ නීති අහෝසි කරන්න…! කාන්තා හිංසනය මිස එමගින් යුක්තියක් ඉටුවන්නේ නෑ..! – හිටපු මහාධිකරණ රෙජිස්ත්‍රාර් මොහොමඩ් සුබයිර්..

December 27, 2021 at 5:36 pm | by emanisa.lk

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝ කාලයක සිට සිදු වන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර් සඳහන් කළේය.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ඔහු මෙම ඉල්ලීම කළේ ය.

තමා ස්වෙච්ඡාවෙන් අදහස් ලබාදීම සඳහා පැමිණි බව පැවසූ මොහොමඩ් සුබයිර්, අධිකරණ ක්ෂේත්‍රයේ වසර 40ක තම සේවා කාලය තුළ ලද කනගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන බව වැඩි දුරටත් පැවසීය.

විවිධ ස්වෙච්ඡා සංවිධාන, විවිධ ජන කොටස්, වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි පිරිස් කමිටුව හමුවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ කළහ.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන් ම ආගම කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීම තහනම් කළ යුතු බව ද මොහොමඩ් සුබයිර්, කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළේය. බොහෝ අවස්ථාවල කාති උසාවිවල නඩු ඇසීම සිදු කරනු ලබන්නේ නීතිඥවරයෙකු නො වන කාතිවරයෙකි. නීතියට අදාළ වන ලියකියවිලි හා එසේ නො වන ලේඛන නිවැරදිව හඳුනාගැනීමට කාතිවරයෙකුට නො හැකි වන අවස්ථා ඇත.

එසේ හෙයින් නිසි අවබෝධයකින් හා අපක්ෂපාතී ව නිවැරැදි තීන්දුව ලබා දිය නො හැකි අවස්ථා මෙන් ම එම උසාවිය මඟින් ලබා දෙන තීන්දු ක්‍රියාත්මක නො වන අවස්ථා ද බහුලව වාර්තා වී ඇත. මෙම උසාවි ක්‍රමය අහෝසි කිරීම මඟින් නඩත්තු නඩුවලදී අදාළ ගැහැනු දරුවාට මෙන් ම, දෙමාපියන්ට ද සාධාරණයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මොහොමඩ් සුබයිර් සඳහන් කළේය.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මඟින් බලවත් සමාජ හා නීතිමය අසාධාරණකම් සිදු වන බව බව පැවසූ මොහොමඩ් සුබයිර්, දැනට කාති ක්‍රමය යටතේ ගැනෙන නඩත්තු නඩු මහෙස්ත්‍රාත් උසාවිය මඟින් ද, දික්කසාද නඩු දිස්ත්‍රික් උසාවිය මඟින් ද සාධාරණ හා අපක්ෂපාතී ලෙස විසඳාගත හැකි බව පවසුවේය.

බහු විවාහය සඳහා ඇති අයිතිය ද අහෝසි කළ යුතු බව පවසන සුබයිර්, ඒ සඳහා වන කරුණු කුරානයේ ඇති වගන්ති ඉදිරිපත් කරමින් පැහැදිලි කළේය. ආගම කොටස්වලට බෙදා නො ගන්නා ලෙස කුරානයේ සඳහන් කර ඇති බව පවසන හෙතෙම එවැනි අවස්ථාවලට ඉඩ ලබා දීම මඟින් විවිධ අන්තවාදී සංවිධාන බිහි වීමට ඉඩ ඇති බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස