මෙරට පැරණිතම බිතුසිතුවම ඇතුළු ලංකා ඉතිහාසයේ යුග හතරක් නියෝජනය කෙරෙන හිඳගල ඓතිහාසික රජමහ විහාරස්ථානයේ බිතුසිතුවම් රැසක් මේ වන විට විනාශ වෙමින් පවතියි.
වසර 1800කට වඩා ඉපැරණි මෙහි පිහිටි මෙරට පැරණිම බිතුසිතුවම මේ වන විටත් බොහෝ සෙයින් විනාශයට පත්ව ඇති බවත් ඒ අයුරින් ම අනුරාධපුර, ගම්පොළ, කෝට්ටේ සහ මහනුවර යුගයට අයත් බිතුසිතුවම් ද පිළිමවහන්සේ රැසක් ද විනාශ වෙමින් ඇති බවත් එම විහාර භාරකාර ඇඹිල්මීගම ධම්මකිත්ති හිමියෝ පවසති.
මේ ආකාරයෙන් රටේ යුග හතරක් නියෝජනය කරන එකම ඓතිහාසික සිද්ධස්ථානය හිඳගල රජමහ විහාරස්ථානය බවත් උන්වහන්සේ පැවසූහ.
මේ සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය මගින් පෙන්වා දීම හේතුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා එක්ව යම් ආකාරයකින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ ද ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ද උන්වහන්සේ පවසති.
මෙරට පැරණිම බිතුසිතුවම වශයෙන් සැලකෙන බුදුන් වහන්සේ සක් දෙවිඳුන් හට ධර්මය දේශනා කිරීම නිරූපිත බිතු සිතුවම මේ වන විට හඳුනා ගත නොහැකි අයුරින් විනාශ වී ඇති බව ද ඇතැම් බිතුසිතුවම් සංරක්ෂණය කෙරෙමින් පවතින බව ද උන්වහන්සේ වැඩි දුරටත් පවසා සිටියහ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක ඊයේ (27) විහාරස්ථානයට පැමිණ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සොයා බලා නිලධාරීන්ට ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට උපදෙස් දී ඇත.