වව්නියාවේ ඉපැරණි දාගැබක් නිදන්හොරු වනසති!

August 20, 2020 at 8:40 am | by emanisa.lk

වවුනියාවේ කනගරායන්කුලම, පෙරියමඩු රක්ෂිත වන ප‍්‍රදේශයේ පිහිටි ඉපැරණි දාගැබක් කඩා විශාල පරිමාණයේ නිධන් වස්තු කොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳව කනගරායන්කුලම පොලිසිය පෙරේදා (18 දා) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
 
 නිධන් හොරුන් විසින් මෙම ස්ථානයේ තිබූ විශාල ප‍්‍රමාණයේ නිධානයක් ගොඩ ගෙන පළා ගොස් තිබේ. එම නිධන් හොරුන්ට නිධන් වළෙන් හමු වූ ගල්වලින් නෙලන ලද බුදු පිළිම කිහිපයක්ම කඩා බිඳ දමා ඇත්තේ එම බුදු පිළිම ඇතුළත් රන් රිදී හෝ මැණික් ඇතැයි යන විශ්වාසය මත බවට පොලිසිය සැක කරයි.
 
 නිධානය ලබා ගැනීම සඳහා භාවිත කරන ලද පූජා භාණ්ඩ රැසක්ද එම ස්ථානයේ තිබී හමු වී ඇති අතර ඒ තුළ තිබූ දෙහි ගෙඩි ඉතාම අලූත් ඒවා බැවින් මෙම නිධානය ගොඩ ගෙන ඇත්තේ මීට දින දෙකකට හෝ තුනකට ඉහතදී බවටද පොලිසිය සැක පහළ කරයි.
 
 නිධන් හොරුන් විසින් මෙම ස්ථානයේ නිධානය ගැනීම සඳහා විශාල පුරාවස්තු සංහාරයක් සිදු කොට ඇති අතර මෙම ස්ථානය මීට වසර ගණනාවකට පෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගත් ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් වූවත් එම ස්ථානය සංවර්ධනය කිරීමක් හෝ ඊට ආරක්ෂාවක් යෙදීම සිදු කොට නොමැත.
 
 මේ ස්ථානයේ තිබූ නිධානය ගොඩ ගෙන පුරා වස්තුවලට හානි සිදු කොට ඇති බව මුලින්ම දැනගෙන ඇත්තේ යුද හමුදාවෙන් වන අතර යුද හමුදාව මේ පිළිබඳව කනගරායන්කුලම පොලිසියට තොරතුරු දැනුම් දී තිබේ.
 
 පොලිසිය මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද දැනුවත් කොට නිධන් හොරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස