එන්නත් ගන්න කියා ආණ්ඩුව ජනතාව පස්සෙන් යන එක ම රට ලංකාවයි…!

February 25, 2022 at 6:33 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවාවේ නිරත පිරිස ඉටු කරන සේවාවට ඇගයීමේ සීමාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

ඒ, කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 153 දෙනෙක් නයිටිංගේල් ප්‍රතිඥාව දී සේවයට කැපවීම හා හිස් වැසුම් පැළදීමේ උත්සවයට අද (25) දින අරලියගහ මන්දිරයේ දී එකතු වෙමිනි.

මේ ඔබේ ජීවිතයේ අභිමානවත් අවස්ථාවක්. හෙදකම යනු ජිවිතයට ජිවිතයක් දීමයි. බොහෝ විට මියදෙමින් තිබෙන ජිවිත වලට ආලෝකය දෙනුයේ හෙදකම මෙන්ම වෙදකමයි. මෙය වෘත්තීයට එහා ගිය මනුෂ්‍යත්වයක් හැටියටයි සළකන්නෙ. ඒ සේවාව ලෝකය සුවපත් කරන්නක්.

මෙරට හෙද සේවා වෙනුවෙන් රට පුරා හෙද විදුහල්වලින් කෙරෙන කාර්යභාරය ඉතා වැදගත් හා කාලෝචිත බව අප දන්නවා. දුෂ්කරතා මධ්‍යයේ වුවද රටට අවශ්‍ය පරිපූර්ණ හෙද හෙදියන් නිර්මාණය කිරීම වෙනුවෙන් රජයේ හෙද විදුහල් ඉටු කරන කාර්යය අපි පැසසුමට ලක් කළ යුතුයි.

ජීවිතයේ අසරණ මෙන් අසීරුම අවස්ථාවන්ට පත් වූ මොහොතකයි බොහෝ දෙනෙකු ඔබ වෙත පැමිණෙන්නේ. එම නිසා ඔබගේ මෙම සේවාවට ඔබගේ දයානුකම්පාව ළෙන්ගතුකම මනුෂ්‍යත්වය ඔවුන්ගේ ජීවිත සුවපත් කරනවා.

කොවිඩ් ව්‍යවසනය හමුවේ මුල් අවස්ථාවේ සෞඛ්‍ය සේවාවේ සියලු සෞඛ්‍ය සේවා සමාජිකයින් බොහෝ දුෂ්කරතා මැද කටයුතු කළ උදවියයි. කොවිඩ් වසංගතය පළමුවෙන්ම ආපු වෙලාවේ මම එවිට සෞඛ්‍ය ඇමතිවරයා නෙමෙයි. එහෙත් ප්‍රධාන රෝහල්වල මාස්ක් එක තිබ්බෙ නැහැ. ආරක්ෂක ඇඳුම් තිබ්බෙ නැහැ. ඒ සියලු දේ පැත්තක තියලා ඇතැම් වේලාවට පැය 72ක් නැතිනම් දින 3 – 4 එක දිගට වැඩකරමින් ඒ අවදානම ගත්ත කණ්ඩායමක් හැටියට හෙද හෙදියන් වගේම මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳන් පහළට යනකම් ක්‍රියා කළ ආකාරය ඇගයීමට ලක්වුණා ඇතිදෝ කියලා මට හිතෙනවා.

තමන්ගෙ ජීවිතය පමණක් නෙමෙයි තමන් නිවසට යනකොට තමන්ගෙ දෙමාපියන් දූ දරුවන්ට ඇති අවදානම නොතකා ඉතාම දුෂ්කර ක්‍රියාවකට කටයුතු කරපු සහෝදර සහෝදරියන් පිරිසකටයි ඔබ අද එක්වන්නෙ. මේක රැකියාවකට එහා ගිය මනුෂ්‍යත්වයේ සේවාවක්.

මෙතැන ඉන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ මනුෂ්‍යන්ට ජීවත්වීමේ වරම ලබාදුන් නායකයා. නිදහස කියන වචනය හුරු පුරුදු කළ, මායිම් ගම්මාන කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කළ නායකයා. අපේ යුගයේ එවැනි නායකයකු සමඟ කටයුතු කරන්න ලැබීම ගැන අපි වාසනාවන්තයි.

කොවිඩ් වසංගතය මේ රටට ආපු වෙලාවේ අපේ ජනාධිපතිතුමා ජනතාවට එන්නත ලබා දිය යුතුයි කියන විශ්වාසයේ සිටියා.
රාජ්‍ය නායකයන්ට පෞද්ගලිකව කතා කරලා අපේ රටේ ජනතාවට ඒ යුතුකම වගකීම ඉටුකරන්න එන්නත ගෙන්නගන්න ජනාධිපතිතුමා කටයුතු කළා. බොහෝ රටවල්වල එන්නත ලබා ගන්න ජනතාව රජය පසුපස යනවා. මම හිතන විධියට අපි තමයි ලෝකයේ එකම රට එන්නත ගන්න කියලා රජය ජනතාව පසුපස යන.

සෞඛ්‍ය සේවාවේ නිරත පිරිස ඉටු කරන සේවාවට “ඇගයීමේ සීමාවක් නොමැත” කියලා හදවතේ ලියවෙන බව කියන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස