එක්ස්ප්‍රස් පර්ල් තෙල් කාන්දුව හඳුන ගත්තේ අරාබි මුහුදෙදි…! අතරමග වරාය දෙකක් ම නැව ප්‍රතික්ෂේප කරල….!

May 27, 2021 at 4:46 pm | by emanisa.lk

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති රසායන කාන්දුව පළමුව හඳුනා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට කිලෝ මීටර දහස් ගණනක් දුරින් පිහිටි අරාබි මුහුදේදී බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව සිංගප්පුරු සමාගමකට අයත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරාය ආසන්නයට පැමිණීමට පෙර ඉන්දියාවේ හසීරා සහ කටාර් රාජ්‍යයේ හමාඩ් යන වරායවලට නෞකාව ඇතුළු කිරීම සඳහා අවසර ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් එම වරායවලින් ඒ සඳහා යහප්ත ප්‍රතිචාර ලැබී නොමැති බව ද එම විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නෞකාව අයත් සිංගප්පූරු සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාට්නෝල් උපුටා දක්වමින් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුළ ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුව බවය.

මෙම නෞකාව තුළ බහාලුම් 1,486 ක් තිබී ඇති අතර නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් අඩංගු බහාලුම් කිහිපයක් ද ඒ අතර වන බව සඳහන්ය. එම රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් නෞකාවේ ගින්න හට ගෙන ඇති බව අදාළ සමාගම පවසා ඇත.

මේ වනවිට මෙම නෞකාව සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවට අදාළ නෞකාව අයත් සමාගම විසින් පිළිගෙන ඇති බව ද සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *