‘උපයන විට අය කරන බදු’ වහා අඩු කරනු..! වෘත්තීය සමිති 47ක් වර්ජන සටනට..!

March 25, 2023 at 11:34 am | by emanisa.lk

සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය, බැංකු, ජල, වරාය ඇතුළු වෘත්තීය සමිති 47කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නැවත වරක් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් බව සඳහන් කරයි.

වෘත්තීයවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී වීමට රජය තීරණය නොකිරීම හා තාවකාලිකව නතර කරනු ලැබූ වැඩ වර්ජනය සඳහා ආණ්ඩුව නිසි පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ය.

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව මෙතෙක් නොලැබුණ බව ද වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දුන්නේය.

රජයේ නව බදු ප්‍රතිපත්තිවලට, පොළී අනුපාතිකය ඉහළ දැමීම සහ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලබන බව ද ඔවුහු සඳහන් කළහ. ගැටලුව විසඳීම සඳහා වෘත්තීය සමිති ලබාදුන් කාලය ආණ්ඩුව අවභාවිත කිරීම පිළිබඳව කනගාටු වන බවත් ඒ සඳහා යුක්තිය ලබා ගැනීමට නොබියව සටන් වදින බවත් ඔවුහු සඳහන් කළහ.

ජනාධිපති ලේකම්වරයා වෘත්තීයවේදීන්ගේ ගැටලුව විසඳීමට කටයුතු කරන බවත් මේ පිළිබඳව මාර්තු 22 හෝ ඊට පෙර දිනයක ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවත් සඳහන් කර තිබුණ ද එය ක්‍රියාත්මක නොවුණු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

මේ සියලු සාකච්ඡා ආණ්ඩුව මග හැරීමට කටයුතු කිරීමට උත්සහ ගන්නා බව ත් මේ වන තුරු රජයේ කිසිදු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කර නොමැති බව ත් ඔවුහු සඳහන් කළහ.

එසේ ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද වනවිට 18 වන දිනටත් ක්‍රියාත්මකව පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසීය.

බදු ප්‍රතිපත්තියට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය කිසිදු ආකාරයකින් අවසන් නොකරන බවත් ආණ්ඩුව මේ සඳහා සංවේදී වන තුරු මේ සටන ක්‍රියාත්මක කරන බව ත් හෙතෙම කීය.

වත්මන් ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරමින් තිබෙන ජන පීඩක සහ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයක් ගොඩනැගීමේ මූලික අඩිතාලම බවට පත්ව ඇති බව ඔවුහු වැඩි දුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස