ගෝඨා අඩු කළ බදු යළි ඉහළට…! ආදායම් බදු නිදහස් සීමාව ලක්ෂ 12ට අඩු වෙයි..! අපනයන සමාගම් මත 30%ක බද්දක්…!

October 13, 2022 at 9:35 am | by emanisa.lk

බදු සංශෝධන රැසක් සිදු කරන 2017 අංක 24 දරන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ ගැසට් කර තිබේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික, ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

මේ අනුව පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව ලක්ෂ 30 සිට නැවත ලක්ෂ 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව වාර්ෂිකව රු. ලක්ෂ 12 ට වඩා උපයන පුද්ගලයන් එසේ ලක්ෂ 12ට වඩා උපයන සෑම ලක්ෂ පහකට වරක් සියයට 6 බැගින් බදු ගෙවිය යුතු වේ.

ඒ අනුව ලක්ෂ 12 න් පසු පළමු ලක්ෂ 5 ට සියයට 6 ක් ද, දෙවන ලක්ෂ 5 ට සියයට 12 ක් ද, තෙවන ලක්ෂ 5 ට සියයට 18 ක් ද, සිව්වන ලක්ෂ 5 ට සියයට 24 ක් සහ පස්වන ලක්ෂ 5 ට සියයට 30 ක් ද වශයෙන් බදු ප්‍රතිශතය වැඩි වේ. බදු අය කළ හැකි සීමාවෙන් පසු ලක්ෂ 30 ඉක්මවීමේදී සියයට 36 ක බදු ප්‍රතිශතයක් අය කෙරේ.

එසේම සමාගම් මත අයකරන බද්ද සියලු සමාගම් සඳහා සියයට 30 දක්වා වැඩි කර ඇති අතර මීට පෙර මෙය නිෂ්පාදන සමාගම් සඳහා සියයට 18 ක් ද, අපනයන සමාගම් සඳහා සියයට 14 ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා සියයට 14 ක් ද වශයෙන් තිබිණි. මේ අනුව සමාගම් සඳහා සහ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම්වලට ද ගෙවිය යුතු බදු ප්‍රතිශතය සියයට 14 සිට සියයට 30 දක්වා වැඩි වී ඇත. මේ අනුව එම සමාගම්වලට මේ බදු වැඩි කිරීමෙන් සැලකිය යුතු බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රාග්ධන ලාභ බද්ද සමාගම් සඳහා සියයට 10 සිට සියයට 30 දක්වා වැඩි කර ඇති අතර උපයන විට ගෙවීමේ බද්ද නැවත හඳුන්වාදී විධිමත් කිරීමට පියවර ගෙන ඇත. ලාභාංශ සඳහා මත රඳවා ගැනීමේ බද්ද සියයට 15ක් ලෙස ද නියම කර ඇත. මේ ප්‍රධාන බදු සංශෝධන ඇතුළු බදු වෙනස්කම් ගණනාවක් මේ නව දේශීය ආදායම් සංශෝධන පනතට ඇතුළත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *