උඩරට නීතිය කියන්නේ මේ රටේ බිහි වූ සිංහල නීතියයි….! රටට බලපාන එක ම නීතිය සඳහා පදනම විය යුත්තේ එම නීතියයි….! – ආචාර්ය නලින් ද සිල්වා….

February 13, 2021 at 11:31 pm | by emanisa.lk

ආචාර්ය නලින් ද සිල්වා විසින් සම්පාදිත ලිපියකි.

එක රටක් එක නීතියක් කියන එක ආකර්ෂණීය සටන්පාඨයක්. ඒත් මෙහි දී ප්‍රශ්නයක් පැන නගිනවා. මේ එක නීතිය කුමක් ද? අද ලංකාවේ භාවිතා වන්නේ රෝම ලන්දේසි නීතිය හා ඒ මත ආරෝපණය වූ ඉංගිරිසි නීතිය. එයට අමතර ව තවත් නීති ගණනාවක් තියෙනවා. මුස්ලිම් විවාහ නීතිය තේසවලාමේ නීතිය ආදී වශයෙන්. මුස්ලිම් කාති උසාවිත් තියෙනවා. තේසවලාමේ උසාවි කියල වර්ගයක් නැහැ.

මුස්ලිම් විවාහ නීතිය ඇතුළු පෞද්ගලික නීති ගැන අලි සබ්‍රි පාර්ලිමේන්තුවෙ කතා කරල තිබුණා. ඔහු අධිකරණ ඇමති පමණක් නොවෙයි ජනාධිපති නීතිඥයෙක්. ජනාධිපති නීතිඥයන් කියන්නෙ නීති වෘත්තියෙහි ඉහළට ම ගිය අය. ඒ මදිවට අලි සබ්‍රි සිංහල හොඳට දන්නවා. ඔහු කළුතර පාසලක ඉගෙන ගෙන තියෙන්නෙ. ඔහුට බෞද්ධ පාඨත් කියන්න පුළුවන්. එහෙත් එපමණකින් ඔහු මෙරට ඉතිහාසය හා බැඳුණ නීතිය දන්නව කියන්න බැහැ. ඔහුට විහාර දේවාලගම් පනතත් අයින් කරන්න ඕන වෙලා.

මොනව ද මේ පෞද්ගලික නීති කියන්නෙ. ඒ එක එක පුද්ගලයා සම්බන්ධ නීති නො වෙයි. අලි සබ්‍රි පෞද්ගලික කියන වචනය යොදා ගත්තට ඔහු කියන්නෙ යම් යම් ජනකොටස්වලට සීමා වූ නීති ගැන වෙන්න ඕන. මා නීතිඥයකු නොවන නිසා මා යොදා ගන්නා අර්ථය වැරදි වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් අලි සබ්‍රි උඩරට නීතිය ගැනත් සඳහන් කරනවා.

මේ ප්‍රශ්නය ගැන බොහෝ දෙනා හිතන විධිය වැරදියි. මේ රටේ නීතිය මොකක් ද? ලන්දේසින් අප මත පැටවූ රෝම ලන්දේසි නීතිය හා ඉංගිරිසින් අප මත පැටවූ ඉංගිරිසි නීතිය ද? ඒ නීති අද ඊනියා රටේ නීතිය වෙලා තිබුණට ඒ රටේ නීතිය නොවෙයි. මේ රටේ නීතියට කිවුවෙ සිංහල නීතිය කියල. පෘතුගීසීන් ලන්දේසීන් අපට පොරොන්දු වුණා සිංහල නීතිය අනුව රට කරවන්න. මා හිතන්නෙ නීති විද්‍යාලයෙ ඒ බව කියනව කියල.

ඒත් පෘතුගීසීන් කොහොම වුණත් ලන්දේසීන් තමන් පාලනය කළ පළාත්වල, එනම් මුහුදුබඩ පෙදෙස්වල රෝම ලන්දේසි නීතිය අනුව කටයුතු කළා. ඔවුන් දකුණු අප්‍රිකාවටත් රෝම ලන්දේසි නීතිය දුන්න. මතක තියා ගන්න ඒක ලන්දේසීන් අප මත පටවපු නීතියක්. ඒක අපේ නීතියක් නොවෙයි. ඊට පස්සෙ ඉංගිරිසින් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් පොරොන්දු වුණා බුද්ධාගම හා දේවාගම රකින්නත් සිංහල නීතිය අනුව රට කරවන්නත්.

අප මේ ගිවිසුම නැවත නැවතත් කියවන්න ඕන එකක්. අප ඉතා ම අසරණ වී සිටිය දී වුවත් රටේ සංස්කෘතිය ඉතිහාසය රැකීමට ගත් යම් පියවර එහි සඳහන් වෙනවා. ඉංගිරිසින් ඔවුන්ගේ ඊනියා මහත්මා ගතිය පෙන්වමින් ගිවිසුම කැඩුවා. නමුත් ඊට පෙර ගිවිසුමෙන් සිංහල නීතිය අනුව රට කරවන බවට පොරොන්දු වුණා. සිංහල නීතිය කියන්නෙ රටේ ම නීතිය. ඉංගිරිසින් ගිවිසුමක් අත්සන් කෙළෙ සිංහල නායකයන් සමග පමණයි. දෙමළ වෙල්ලාලයන් සමග හරි මුස්ලිමුන් සමග හරිව ගිවිසුම් අත්සන් කෙළේ නැහැ. අත්සන් කිරීමට තරම් ඔවුන් වැදගත් වුණේ නැහැ. ඉංගිරිසින් වෙල්ලාලයන් හා මුස්ලිමුන් සිංහල බෞද්ධයනට විරුද්ධ ව නම් යොදා ගත්තා. ඇතැම් සිංහලයන් ද යොදා ගත්තා. අදත් ඇතැම් සිංහල පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් සිංහල බෞද්ධයනට සිංහල බුද්ධාගමට විරුද්ධ ව යොදා ගැනෙනවා.

සිංහල නීතිය ලෙස ඉංගිරිසින් සැලකුවෙ රටට ම බලපාන නීතිය. උඩරට නීතිය කියා එකක් නැහැ. උඩරටට අමුතුවෙන් නීතියක් තිබුණේ නැහැ. උඩරට නීතිය එලෙස හැඳින්වුණේ කෙසේ ද යන්න පිළිබඳ කෙටි විස්තරයක් කාලය සඟරාවේ 2021 පෙබරවාරි කලාපයේ රාජා ගුණරත්න ලියා තියෙනවා. ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යනංශයේ අංශ ප්‍රධාන. ඔහු මෙසේ කියනවා. “දිරි ගැන්වීම වූයේ නිකොල් නඩුවේ තීන්දුව අවලංගු කරමින් නව තීරණයක් ලබා දුන් විලියම්ස් ඒ. රොබට්සන් නඩු තීන්දුවයි. මෙම නඩු තීන්දුවේ දී නිකොල් නඩුවේ දෙන ලද තීරණය අවලංගු කරමින් අධිකරණය ප‍්‍රකාශ කරන ලද්දේ යුරෝපීයානු ජාතිකයන් සිංහලයාගේ චාරිත‍්‍රානුකූල නීතියට යටත් නොවන බවයි. ඒ අනුව මෙම නඩුවේ දී උඩරට පළාතේ ස්ථිර ලෙස පදිංචි වී සිටි යුරෝපියානු විවාහක කාන්තාවකට උඩරට නීතිය අදාළ නොවන බවත්, ඇය පාලනය වන්නේ රෝම-ලන්දේසි නීතියෙන් බවත් ප‍්‍රකාශ කරන ලදි. ස්වදේශික සිංහල නීතියට උඩරට නීතිය‍ යන නාමය ලැබුණේද මෙම නඩු තීන්දුව මඟිනි. විලියම්ස් නඩු තීන්දුව, අධිකරණය විසින් නඩු තීන්දු රාශියකින් අනුගමනය කර තිබේ. නිදසුන් ලෙස විජේසිංහ එ්. විජේසිංහ මෙම නඩුවේදී උඩරට පදිංචි වී සිටි පහත රට සිංහලයෙකු පාලනය වන්නේ උඩරට නීතියේ නොව රෝම-ලන්දේසි නීතියෙන් බව පිළිගන්නා ලදි.”

මේ අනුව පැහැදිලි වන්නේ ඉංගිරිසින් සිංහල නීතිය ඊනියා උඩරට නීතියක් බවට පත්කර රෝම ලන්දේසි හා ඉංගිරිසි නීතිය රටේ නීතිය බවට පත්කරමින් සිංහල නීතිය ඊනියා ප්‍රාදේශීය නීතියක් බවට පත් කළ ආකාරයයි. සිංහල නීතිය පමණක් මෙරට නිපන් නීතියක්. අනෙක් සියලු නීති ලන්දේසීන් හරි ඉංගිරිසින් හරි අප මත පැටවූ නීති. අපේ තකතීරු අධ්‍යාපනය නිසා අද අප පුරුදු වී ඉන්නේ රෝම ලන්දේසි නීතිය රටේ නීතිය බවටත් සිංහල නීතිය අලි සබ්‍රිට අනුව නම් තවත් ඊනියා පෞද්ගලික නීතියක් බවටත් සැලකීමට.

විහාර දේවාලගම් පනත තවත් ආඥා පනතක් මිස ඊනියා පෞද්ගලික නීතියක් නො වෙයි. ඒ පනතේ අඩුපාඩුකම් තියෙනවා. ඒ සංශෝධනය කරන්න ඕන. එය වෙන ම කරුණක්. එහෙත් එය ඊනියා පෞද්ගලික නීතියක් නො වෙයි. මට තේරෙන විධියට ඒ පනත රෝම ලන්දේසි නීතිය සමග ගැලපෙන්නේ නැහැ. රෝම ලන්දේසි නීතිය පෞද්ගලිකත්වය මත පදනම් වූ නීතියක්. එහෙත් විහාර දේවාලගම් පනත සාමූහිකත්වය මත පදනම් වූ පනතක්.

සමස්තයක් ලෙස ගත්ත ම සිංහල නීතිය සාමූහිකත්වය පදනම් කර ගත් නීතියක්. රෝම ලන්දේසි හා ඉංගිරිසි නීති පෞද්ගලිකත්වය මත පදනම් වූ නීති. හරිහමන් නීතිඥයන් මෙරට ඉන්නව නම් කළ යුත්තේ සිංහල නීතිය මත පදනම් ව නීති පද්ධතියක් සකස් කිරීමයි. එය පහසු කටයුත්තක් නොවන බව මා දන්නවා. ඒත් නොකළ හැක්කක් නොවෙයි. ඒ නීතියට රෝම ලන්දේසි හා ඉංගිරිසි නීති අවශෝෂණය කර ගන්න පුළුවන් වෙන්න ඕන. අලි සබ්‍රි සිංහල නීතිය තවත් ඊනියා පෞද්ගලික නීතියක් බවට පත්කිරීමට ගන්නා උත්සාහය හෙළා දැක පරාජය කරන්න ඕන.

මෙරට බහු සංස්කෘතික රටක් වන්නේ සංස්කෘතීන් කිහිපයක් තියෙන අරුතින් පමණයි. ඒ අරුතින් සෑම රටක් ම බහු සංස්කෘතිකයි. එහෙත් ඒ ඒ රටවල ප්‍රධාන නැත්නම් විශේෂිත සංස්කෘති තියෙනවා. බටහිර නම් තියෙන්නෙ අධිපතිවාදී ක්‍රිස්තියානි සංස්කෘති. එහි අනෙක් සංස්කෘතීන්ට ඇති තැන කුමක් ද? ඇතැම් බටහිර රටවල පාලකයන් මුස්ලිමුන්ට කියා ඇත්තේ තම රටේ සංස්කෘතිය අනුව ජීවත්වෙන්න බැරි නම් ආපසු තම රටවලට යන්න කියායි. සිංහල බෞද්ධයන් කිසිවකුට එසේ කියන්නේ නැහැ. එහෙත් මෙරට සිංහල බෞද්ධයන් නොවන්නන් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව පිළිගන්න ඕන. අඩු ගණනේ කාදිනල්තුමාගෙන් ඒ බව ඉගෙන ගන්න.

පෘතුගීසීන් හා ලන්දේසීන් පමණක් නොව ඉංගිරිසින් ද සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව පිළිගත්තා. විවිධ ගිවිසුම් මගින් ඒ බව හෙළි වෙනවා. ඉංගිරිසින් 1840න් පසු 1815 ගිවිසුමෙන් පොරොන්දු වූ පරිදි බුද්ධාගම හා දේවාලගම පෝෂණය කරන්න ගියේ නැහැ. ඔවුන් තම පොරොන්දුව කඩ කළා. එහෙත් ඔවුන්ට 1892 දී ත් පහත සඳහන් ආඥාව පනවන්න සිද්ධ වුණා. අප කියනවා එය ක්‍රියාත්මක විය යුතු ය කියා. 1898 නිරෝධායන ආඥා පනත ගොඩගත හැකි නම් 1892 ආඥා පනත ක්‍රියාත්මක කරන්න බැරි කමක් නැහැ.

“Section 16 of the “Declaration of British Sovereignty” dated 21/11/1818 and ordinance no 4 of 1892.

“As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස