ඊළඟ අවුරුදු පහේ රට කිරෙන් ස්වංයපෝෂිත කරලා රටත් පටවනවා! – බැසිල්

August 18, 2020 at 5:06 pm | by emanisa.lk

ඉදිරි වසර 05 කාලය ඇතුළත මෙරට කිරි නිෂ්පාදනය දේශීය කිරි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම දක්වා ඉහළ නංවන බවත් පරිභෝජනය ඉක්මවා අපනයන මට්ටමට දක්වා රැගෙන ඒමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බවත් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසයි.

කිරි නිෂ්පාදනය අංශයට සම්බන්ධ අමාත්‍යවරුන් ඇතුළු එම කර්මාන්තය ආශ්‍රිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (2020.08.17) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය රැකගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ යටතේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මහා පරිමාණ කිරි ගොවිපොළ මෙන්ම කුඩා පරිමාණ කිරි ගොවිපොළ සංවර්ධනය කිරීමෙන් අපේක්ෂා කෙරේ.

දේශීය කිරි අවශ්‍යතාව ලීටර් මිලියන 1200කි. දැනට නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය ලීටර් මිලියන 420කි. ඉතිරි අවශ්‍ය කිරි ප්‍රමාණය ලීටර් මිලියන 780 වුවත් දියර කිරි භාවිතයට ජනතාව හුරු කළහොත් තවත් කිරි ලීටර් මිලියන 400 කින් දේශීය අවශ්‍යතාව සපුරාලිය හැක. කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් නිෂ්පාදනයට දියර කිරි ලීටර් 8ක් පමණ අවශ්‍ය වේ. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 1න් සෑදිය හැකි කිරි වීදුරු ප්‍රමාණයට වඩා දියර කිරි ලීටර් 8න් සෑදිය හැකි කිරි වීදුරු ප්‍රමාණය ඉතා වැඩි වේ.

කිරි මිල දී ගැනීම, කිරි හරක් ආනයනය කිරීම, තෘණ භූමි ආරක්ෂා කිරීම, බඩ ඉරිඟු වගාව සහ ඒ වෙනුවෙන් ඉඩම් වෙන්කිරීම සම්බන්ධයෙන් ද බඩ ඉරිඟු වගාව සාර්ථක කර ගැනීම සඳහා ඵලදායී බීජ ආනයනය සහ නිෂ්පාදනය කෙරෙහිද සැලසුම් සකස් කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස