විදුලි බිල වැඩි කිරීම අසාධාරණයයි..! පාඩු නම් හොරුන්ගෙන් අයකර ගනු…! අපි පුළුවන් වුණත් ගෙවන්නේ නෑ..! – ඕමල්පේ හිමි…

September 10, 2022 at 6:28 am | by emanisa.lk

රටේ ජනතාව ජීවත් වීම සම්බන්ධයෙන් දැවැන්ත අරගලයක නිරතව සිටියදී ඔවුන් තවදුරටත් අපහසුතාවට පත් කරමින් විදුලි බිල ඉහළ දැමීම බරපතල ගැටලුවක් බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

මීට එරෙහිව ජනතාව සංවිධානය වියයුතු බවත් විදුලි බිල් නොගෙවීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කළයුතු බවත් සෝභිත හිමි පෙන්වා දෙයි.

අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සෝභිත හිමිගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනය ඉදිරිපිටදී විරෝධතාවක් පැවති අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

“එංගලන්තෙ විදුලි බිල අසීමිත වැඩි කළාම මිනිස්සු එකා වගේ නැගිටලා ලක්ෂ ගණනින් පෙත්සම් අත්සන් කරනවා. කවුරුවත් වැඩි කරපු විදුලි බිල ගෙවන්නේ නෑ. ඒ වගේ මෙහෙත් දැවැන්ත විරෝධයක් ආණ්ඩුවට එල්ල කරන්න ඕන. ගාන්ධි ක්‍රමයේ අවිහිංසාවාදී වැඩපිවිලිවෙළක් අපි ළඟදිම ආරම්භ කරනවා.

විශේෂයෙන් ආගමික මධ්‍යස්ථානවලට 500% කින් විතර ගාස්තු වැඩිවෙලා. නිසි ආදායමකුත් නැතුව අපි කොහොමද මේවා ගෙවන්නෙ. ආගම් භේදයකින් තොරව මීට එරෙහිව ආගමික නායකයන් සංවිධානය වෙන්න ඕන. එකතුවෙලා ආණ්ඩුවට එරෙහිව නැගී සිටිය යුතුයි.

මෙහෙම ගියොත් අපිට වෙන්නේ පහන් පත්තු කරගෙන, ඉටිපන්දම් පත්තු කරගෙන ආගමික කටයුතු කරන්න. පිරිවෙන්වල පොඩි හාමුදුරුවරු කොහොමද පහන් එළියෙන් ඉගෙනගන්නෙ.

විදුලිබල මණ්ඩලේ පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරැද්ද නිසා මිසක් අහිංසක ජනතාව නිසා නෙවෙයි. මණ්ඩලේ අලාබ පියවගන්න ඕන නම් කරන්න තියෙන්නේ හොරකම් කරපු අයගෙන් ඒවා අයකර ගන්න එක. ඒ නිසා මේ වැඩි කරපු ලයිට් බිල ගෙවන්න අපිට හැකියාවක් නෑ, ගෙවන්න පුළුවන් වුණත් ගෙවන්නෙත් නෑ.

අදෘශ්‍යමාන හස්තයකින් මේ ආණ්ඩුව ආගම්විරෝධීව කටයුතු කරනවද කියන සැකය අපිට ඇති වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *