අම්මා තාත්තා ආගම අදහන හැටි වැරදියි! ඔවුන් දෙවියන්ගෙන් සමාවගත යුතුයි! මේ රටේ ෂරියා නීතිය ක්‍රියාත්මක විය යුතුයි! – ෂැංග්‍රිලා බෝම්බකරුගේ තවත් හඬපටයක් එළියට…

June 10, 2020 at 9:15 pm | by emanisa.lk

ෂැංග්‍රිලා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් සිය දෙමටගොඩ නිවසට පැමිණ හඬපට දෙකක් පටිගත කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ උප පොලිස් පරීක්ෂක දුනේෂ් මලිත අයගම‍ගේ අද (10) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

ඉන් එක් හඬ පටයක් අප්‍රේල් 20 වැනිදා රාත්‍රියේ 11.48ටත් අනෙක් හඬපටය එදින මධ්‍යම රාත්‍රී 12.03ටත් පටිගත කර ඇති බව එහිදී අනාවරණ විය.

දෙමළ භාෂාවෙන් පටිගත කර ඇති එම හඬ පටය කොමිසම හමුවේ අසන්නට සලස්වා එහි සිංහල පරිවර්තනයක් සාක්ෂිකරු කොමිසමට ඉදිපත් කළේය.

එම හඬ පටයේ මෙසේ සඳහන් විය.

“මාගේ අම්මටයි තාත්තටයි සහෝදර සහෝදරියන්ටයි ලබාදෙන පණිවිඩය… හදිසියෙන්ම වෙලාවක් නැතිව තමයි මේ පණිවිඩය කරන්නේ. මං කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේම එයා පියාගේ ආගම් ඇදහීම් ක්‍රියාවලීන් සමඟ අන්‍යාගමිකයින් සමග සබඳතා පැවැත්වීම හාමුදුරුවන්ට ආධාර ලබාදීමේ කටයුතුවලින් මිදෙන්නට බැරිව ගියාට ඒවා සිරක් කුෆුර් කටයුත්තක්.

මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉඳීයි. ෂරියා මේ රටට එන්න ඕන. ඉස්ලාම් රාජ්‍යයක අන්‍යාගමික අයවලුන් සමඟ කොයි විදිහටද කටයුතු කරන්න ඕනා, ඉස්ලාම් නොවන රාජ්‍යයක කොයි විදිහකටද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැන ගන්න ඕන.

අම්මටයි තාත්තටයි කියන පණිවිඩය තමයි මට සමාව දෙන්න. මා නිසා ඔයාලට කරදර අපහසුතා වෙන්න පුළුවන්. මේ නිසා අපේ පවුලේ අයට කරදර වෙයි. පොලිසියෙන් අම්මා තාත්තා වුණත් අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ ජිහාද් කියන එක මේ කාලේ අනිවාර්යයි.”

පසුව එම හඬ පටය ඇතුළත් පෙන්ඩ්‍රයිව් සිය බිරිඳ ෆාතිමා ජිෆ්‍රිගේ අත මත තබා දෙමාපියන්ට අසන්නට ලබාදෙන්නැයි පවසා, ඉල්හාම් ප්‍රහාරය සඳහා නිවසින් පිටත්ව ගොස් තිබේ.

අනතුරුව ෆාතිමා හඬපට ඇතුළත් පෙන් ඩ්‍රයිව් සිය සැමියාගේ නැගණිය වන ඉබාදා ඊබ්‍රහිම් වෙත ලබාදී ඇති අතර ඉබාදා විසින් සිය සහෝදරයා වන ඉස්මයිල් ඊබ්‍රහීම් වෙත හඬපට ලබා දුන් බව කොමිසමේදී හෙළි විය.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසට කොළඹ අපරාධ කොට්ඨාස සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙන විට නිවැසියන් එම හඬපටවලට සවන් දෙමින් සිට ඇති බවද උප පොලිස් පරීක්ෂකවරයා කොමිසමට පැවසුවේය.

එම අවස්ථාවේදී ඉල්හාම්ගේ ගැබිනි බිරිඳ දරුවන් තිදෙනා සමඟ නිවසේ උඩුමහලක කාමරයක් තුළදී බෝම්බය පුපුරුවාගත් අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනෙක් ද ඉන් ජිවිතක්ෂයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස