අපේ විරුද්ධවාදීන්ට විවේචනය මිස වැඩ බෑ…! ඔවුන්ට දෙන ලද වගකීම් කිසිදා ඉටුකර නෑ…! – මහින්ද…

March 27, 2022 at 3:04 pm | by emanisa.lk

අප පසු කරමින් සිටින්නේ අමාරු කාලයක් වුව ද ජනතාවගේ ප්‍රශ්න දෙස බලා සහනයක් ලබා දෙන වැඩපිළිවෙළකට යන බව අගමැති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ දේශපාලන දිවියට වසර 20ක් පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ ඊයේ (26) පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

“අවුරුදු 20ක් ජනතාවත් එක්ක ඉඳගෙන දේශපාලනය කරල මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන් වීම ගැන ජගත්ට අපි සුබ පතනවා. මොකද ජගත් එක පැත්තකින් මේ ප්‍රදේශයට නායකත්වය දුන්න වගේ ම මුළු ලංකාවෙ ම සමෘද්ධි ව්‍යාපාරයටත් නායකත්වය දෙන්න ඔහුට ශක්තිය තිබුණා. ඒ නිසා අපි ඔහු හඳුන ගත්තේ එක ප්‍රදේශයක නායකයෙන් වශයෙන් නෙමෙයි, රටේ ම වැඩි දෙනෙකුට නායකත්වය දෙන නායකයෙක් වශයෙන්.

එතුමා හැම වෙලාවෙ ම ජනතාවාදීව හිතුවා. ජනතාවගේ පැත්තේ තියෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කළ කණ්ඩායමේ ඔහු හිටියා. ඔහු කණ්ඩායමේ දී කතා කළ යුත්තේ මොනවා ද, පක්ෂ නායකයින් ඉදිරියේ කතා කළ යුත්තේ මොනවා ද, ඒ වගේ ම ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළ යුත්තේ මොනවා ද, නොකළ යුත්තේ මොනවා ද කියන එක පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කළා.

සමහරු දේශපාලනික වශයෙන් තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා කටයුතු කරන්න අපොහොසත්. ඔවුන්ට හැම කටයුත්ත ම විවේචනය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඔවුන්ට වගකීමක් භාර දුන්නා ම ඒ වගකීම ඉටු කරන්න පුළුවන්කමක් නැති බව ඉතිහාසයේ පෙන්නල තියෙනවා.

අපිට අමාරු කාලයක් ඇවිත් තියෙන්නේ. ඒ බව අපි පිළිගන්න ඕනේ. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩු කරන්න පුළුවන්කමක් නැහැ. ඒවා අපි ලබාදිය යුතුව තිබෙනවා. ඔබට ලැබිය යුතු සියලු දේ ලබා දෙනවා. අපිට හැකි හැම දෙයක් ම ලබා දෙන්න රජයක් වශයෙන් අපි ඊට බැඳිලා ඉන්නවා.

ආණ්ඩුවක් වශයෙන් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ඇතිව ඒ අයට සහනයක් ලබාදීමේ වැඩ පිළිවෙළකට යන්න කටයුතු කරන බව මේ අවස්ථාවේදී මතක් කරනවා. ඔබ සැමට සුබ අනාගතයක්!”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස